ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලිපියක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ට්‍රම්ප් සහ පුටින් අතරේ හමුව පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ් - රිචර්ඩ්සන් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරේ පැවැත්වුණු අවස්ථාවේදී, මෙලානියා, ට්‍රම්ප් අතේ පුටින්ට මෙම ලිපිය යැවු බව ද පැවැසෙයි. මෙලානියා ට්‍රම්ප් සමඟ ඇලස්කාවට පැමිණ සිටියේ නැත.

ට්‍රම්ප් බිරිඳ වන මෙලානියා, ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ලෙස, ඇගේ ඒම ලිපිය හරහා රුසියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේවයේ යුද ගැටුම්වලට මැදි වී දුක් විඳින දරුවන් ගැන අවධානය යොමු කරන ලෙසය.

ආදරණීය ජනාධිපති පුටින්, කුමන රටක හෝ වේවා, කුඩා දරුවන්ගේ හදවත තුළ ඇත්තේ එකම නිහඬ සිහිනයකි. මේ රටේ මේ පළාතේ උපදිනවා යැයි ඒ කිසිවකු තෝරාගෙන නැත. ඔවුන් ආදරය අපේක්ෂා කරයි. ආරක්ෂාව අපේක්ෂා කරයි. මාපියන් ලෙස ආදරය ආරක්ෂාව සහ රැකවරණය ඔවුන්ට දීම අපේ වගකීමයි. මීළඟ පරම්පරාව අප රැකගත යුතුයි. ඔවුන්ට සාමය ලබා දිය යුතුයි යැයි එම ලිපියෙහි සඳහන් වෙයි.‍