ජනපති වහීඞ් හසන්
හිටපු ජනපති නෂීඞ්


 

මාලදිවයින් ජනාධිපතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර, ඉකුත් වසරේ රටේ සිදුවුණු බල හුවමාරුවෙන් පසු බලයට පත් වුණු ජනපති වහීඞ් හසන්ට තව දුරටත් එම ධුරයේ රැඳී සිටීමට ජනවරමක් හිමිවනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

ජනපතිවරණය අද උදෑසන ආරම්භ වීමට නියමිත අතර, ජනපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක වනු ඇතැයි මැතිවරණ බලධාරීහු පවසති.

මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශ නිරීක්ෂකයන් කණ්ඩායමක් මේ වන විට මාලදිවයිනට පැමිණ ඇති බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවසා ඇත්තේ, සාමකාමී මෙන්ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූම පාර්ශ්ව එක් වී කි‍්‍රයා කළ යුතු බවය.

වත්මන් ජනපති වහීඞ් හසන්, ස්ටැන්ෆර්ඞ් අධ්‍යාපනය ලැබූ  වෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිතවරයෙක් ද වෙයි.

වහීඞ්ට අභියෝග කිරීමට සැරසෙන සෙසු අපේක්ෂකයන් අතර, බලයෙන් පහකළ ජනපති මොහොමඞ් නෂීඞ්, කෝටිපති ව්‍යාපාරික ගසීම් ඊබ‍්‍රහීම් සහ අබ්දුල්ලා යමීන් ද සිටිති. ගසීම් ඊබ‍්‍රහීම් මාලදිවයිනේ සිටින ධනවත්ම පුද්ගලයාය. අබ්දුල්ලා යමීන්, මාලදිවයිනේ ‘ඒකාධිපති පාලක’ අබ්දුල් ගයුම්ගේ සොහොයුරෙකි.

අපේක්ෂකයන් කිසිවකුට සියයට 50 කට වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුවහොත්, මැතිවරණයේ දෙවැනි වටය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත බව මාලදිවයින මැතිවරණ බලධාරීහු පෙන්වා දී ඇත.

වහීඞ් හසන් බලයට ආවේ හමුදා කුමන්ත‍්‍රණයකින් බලයේ සිටි ජනපති මොහොමඞ් නෂීඞ් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. නෂීඞ් බලයෙන් ඉවත් වෙද්දී බලය පැවැරුවේ වහීඞ් හසන්ටය. ඒ වනවිට වහීඞ් හසන් උප ජනපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

අබ්දුල් ගයුම්ගේ දීර්ඝ පාලනය අවසන් කරමින් රටේ පැවැති පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මොහොමඞ් නෂීඞ්ය. ඔහුට ජනපති ධුරය අහිමි වූයේ ජනපති ධුරයේ සිටිද්දී බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි චෝදනා එල්ල වීමත් ඔහුට එරෙහිව ජනතා විරෝධයක් හට ගැනීමත් නිසාය.
නෂීඞ් කියා සිටියේ තමා බලයෙන් නෙරපූ කුමන්ත‍්‍රණයට වහීඞ් සම්බන්ධ බවත් ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. තමාට බලපෑම් කර වහීඞ්ට බලය පැවැරීමට බල කළේ යැයි ද නෂීඞ් එම අවස්ථාවේදී චෝදනා කළේය.

ඒ අනුව පරීක්ෂණයක් පැවැත්විණි. මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටක්ද වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පරීක්ෂණ කණ්ඩායමක් ද පැමිණ පරීක්ෂණ පැවැත් වූ අතර අවසානයේ දී ඔවුන් කියා සිටියේ බලය පැවැරීම නීත්‍යනුකූලව සිදුවුණු බවය.

නෂීඞ් බලයේ සිටිද්දී ඉන්දියාව සමඟ සමීපව කටයුතු කළේය. ඉකුත් වසරේ නෂීඞ් අත්අඩංගුවට ගැනීමට  මාලදිවයින් අධිකරණය වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදී මාලේ නුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔහුට රැකවරණ දුන්නේය.

මෙය වහීඞ් හසන්ගේ රජයත් ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ රජයත් අතර අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් විය.

එහි ප‍්‍රතිඵලයක් වූයේ ජනපති වහීඞ් චීනයටත් පාකිස්තානයටත් සමීප වීමය. ඒ අනුව මාලදිවයින සහ පාකිස්තානය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ද ආරම්භ විය. 2011 වසරේ දී මාලදිවයිනේ පිහිටුවූ චීන තානාපති කාර්යාලය සමඟ සබඳතා තර කර ගැනීමට ද ජනපති වහීඞ් පියවර ගත්තේය.

නෂීඞ්ට සහාය දැක්වීම හේතුවෙන් ඉන්දීය රජය අපකීර්තියට පත් වූවා පමණක් නොව එයින් ඔවුන්ට කිසිදු වාසියක් ද අත් නොවිණි. මේ වනවිට නෂීඞ් ඔහුට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් බටහිර රටවල සහාය ඉල්ලමින් ඔවුන්ට වඩාත් සමීප වීමට උත්සහ ගන්නේ ඉන්දීය රජය අමතක කරමිනි.