සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එහි ප‍්‍රථම අගමැතිවරයා ද වන 91 හැවිරිදි ලී ක්වාන් යූ අසාධ්‍යව එරට ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.ඔහු මියගියේ යැයි බදාදා (18) රාති‍්‍රයේ අසත්‍ය පුවත් පැතිර වූවන් සොයා ඔවුන්ට දඬුවම් දෙන බව සිංගප්පූරු අගමැතිගේ වැඩිමහල් පුතු වන ලී සියාන් යූන් මාධ්‍ය හමුවේ අද අවධාරණය කළේය.

ඉකුත් පෙබරවාරි 5 වැනිදා නිව්මෝනියොව හැදී ලී ක්වාන් යූ එරට ජාතික රෝහලට ඇතුළත් කැරිණි. පෙරේදා උදෑසන වාර්තා වූයේ ඔහුගේ තත්ත්වය බරපතළ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත්ය. ඔහු මියගියේ යැයි පැවැසුණේ පෙරේදා සවසය. ඒ, සිංගප්පූරු වෙබ් අඩවියකිනි. එම වෙබ් අඩවිය උපුටා දක්වමින්, ඇතැම් විදෙස් පුවත් සේවා ද  ලී ක්වාන් යූ මියගිය බව වාර්තා කළේය.

සිංගප්පූරුව යනු නගර රාජ්‍යයකි. මලයාසියාවේ වෙන් වීමෙන් පසු, එය ආර්ථික ලෙස ශක්තිමත් කරමින් සමෘද්ධිමත් නීතිගරුක රටක් බවට පත් කිරීමෙහිලා පුරෝගාමියා වූයේ ලී ක්වාන් යූ ය.

ලී ක්වාන් යූ 1959 දී එරට ප‍්‍රථම අගමැතිවරයා ලෙස තේරී පත්වූ අතර 1990 තෙක්ම සිංගප්පූරුවේ අගමැති විය. ලොව වැඩිම කලක් අගමැතිධුරය හෙබ වූ පුද්ගලයා ද  ඔහුය.

කිසිදු ස්වභාවික සම්පතක් නොමැති රාජ්‍යයක් ලෙස සැලකෙන සිංගප්පුරුව

සංවර්ධිත නගර රාජ්‍යයක් බවටත් ගෝලීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් සහ වරාය නගරයක් බවටත් පත් කරනු ලැබුවේ ලී ක්වාන් යූ විසිනි.

ඔහු සිංගප්පූරුවේ පී.ඒ.පී පක්ෂයේ නිර්මාතෘ හා පළමු මහ ලේකම්වරයාද වෙයි. ලී ක්වාන් යූ ආසියාවේ වඩාත් බලවත්ම දේශපාලකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නකු ලෙස ද හඳුන්වයි. 1923 සැප්තැම්බර් 16 වැනිදා උපත ලැබූ ලී ක්වාන් යූ ලන්ඩන් ආර්ථික විශ්වවිද්‍යාලයෙන් හා කේම්බි‍්‍රජ් සරසවියෙන් අධ්‍යාපනය ලබා ඇති අතර චීන, ජපන් ඇතුළු භාෂා කිහිපයක් හැසිරවීමේ සුවිශේෂී හැකියාවක්  ලැබීය.