ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියට පත් බානා ඇලබඩ් නම් ඇලෙප්පෝවේ හත් හැවිරිදි දරුවකු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විවෘත ලිපියක් යවා ඇත.

“ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි.ඔවුනුත් ඔබගේ දරුවන් වැනිය.ඔවුන්ට ද සාමය හිමි විය යුතුයි.“යැයි ඇය එම ලිපියේ සඳහන් කර තිබිණි.

ට්‍රම්ප් ජනපතිවරයා රූපවාහිනිය ඔස්සේ දැකීමෙන් පසු ඇය මෙම ලිපිය ලියු බවත් එය ට්‍රම්ප් මහතාගේ දිවුරුම් දීමට පෙර යැවු බවත් ඇගේ මව පවසයි.

එම ට්විටර් ගිණුම තමාගේ අධීක්ෂණය යටතේ සිදුවෙන බව ද මව කියයි.

බානා හා ඇගේ පවුලේ අය පසුගිය දෙසැම්බර් මාසයේදී ඇලෙප්පෝවෙන් පලා ගිය අතර දැන් ඇය තුර්කියේ ජීවත් වෙයි.ඇගේ ට්විටර් ගිණුම ප්‍රසිද්ධියට පත් වූයේ ඇය ඇලෙප්පෝව සම්බන්ධයෙන් නිකුත් කළ පණිවුඩ හේතුවෙනි.

සිරියා රජයේ විරුද්ධ පාර්ශව වලට තුර්කිය සහයෝගය දක්වන අතර සිරියාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

 

ඇය විසින් ට්‍රම්ප් මහතාට යැවු ලිපිය  

“දයාබර ඩොනල්ඩ් ට්‍රම්ප්,

මගේ නම බානා ඇලබඩ්.මගේ වයස අවුරුදු හතක් වන අතර මම ඇලෙප්පෝවේ ජීවත් වූ සිරියා ජාතික ගැහැණු ළමයෙක්.

මම දෙසැම්බර් මස සිරියාව හැර එන්නට පෙර මගේ ජීවිතයම ගෙවුණේ සිරියාවේ .මමත් සිරියානු යුද්ධයෙන් දුක් විඳපු දරුවෙක්.නමුත් දැන් මම මගේ අලුත් නිවසේ සාමයෙන් දිවි ගෙවනවා.

මම සිරියාවේ පාසලක හිටියේ.නමුත් බෝම්බ ප්‍රහාර නිසා ඒකත් විනාශ වුණා.මගේ යාලුවෝ ගොඩක් අය මැරුණා.

මට එයාලා ගැන දුකයි.එයාලා මාත් එක්ක හිටියානම් කියල හිතෙනවා.එහෙම වුණානම් මට එයාලා එක්ක සෙල්ලම් කරන්න තිබුණා.ඒත් සෙල්ලම් කරන්න බැරි වුණා.ඇලෙප්පෝ කියන්නේ ‘මරණයේ‘ නගරයක්.

නමුත් දැන් තුර්කියේ ගෙදර දී මට එළියට ගිහින් විනෝද වෙන්න පුළුවන්.මට පාසල් යන්නත් පුළුවන්.ඒ හින්දා තමයි ඔබ ඇතුළු හැමෝටම සාමය වැදගත් වෙන්නේ.

ඒත් සිරියාවේ එක එක පලාත් වල මිලියන ගණන් දරුවන් යුද්ධය නිසා විඳවනවා.ඔවුන් විඳවන්නේ වැඩිහිටි අයගේ වැඩ නිසා.

මම දන්නවා ඔබ ඇමෙරිකාවේ ජනාධිපති වෙනවා කියලා.ඒ හින්දා ඔබට සිරියාවේ දරුවන් ඇතුළු සිරියා වැසියන් බේරාගැනීමට පුළුවන්ද? ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනෑ.ඔවුනුත් ඔබගේ දරුවන් වගේමයි.ඔවුන්ටත් සාමය ලැබෙන්න ඕනෑ

සිරියාවේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරන බවට ඔබ පොරොන්දු වුවහොත් මම ඔබේ අලුත් යාලුවෙක්.මම ඔබ  කරන දේ ගැන බලා සිටිනවා.“

bana-alabad

(ඡායාරූපය-ඒඑෆ්පී)