මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුන බෞද්ධාගමිකයන් පිරිසකට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර වලින් හත්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල්, මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පළමුව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බවත් පසුව වෙඩි ප්‍රහාර එල්ල කල බවත් බලධාරීහු පවසති. 
 
පුරාණ අරකන් ප්‍රාන්තයේ බිඳවැටීම සිහිපත් කිරීමේ වාර්ෂික උත්සවය තහනම් කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට රඛයින් බෞද්ධයන් 4000ක් පමණ ම්රවුක් උ නගරයට රැස්ව සිටි බව පැවසේ. 
 
මියන්මාරයේ වාර්ගික කණ්ඩායම් රාශියක් ජීවත් වන අතර සමහර කණ්ඩායම් රජයට විරුද්ධව යුධවැදී සිටිති.
 
පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් කැරළිකරුවන් විසින් ආරක්ෂක අංශ වෙත එල්ල කල ප්‍රහාර වලින් පසු දැවැන්ත හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එයින් පසු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 650000කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. මොවුන් නැවත මියන්මාරයට ගෙන්වාගැනීම සම්බන්දව බංගලාදේශය සමග එකඟත්වයකට පැමිණි දිනයේම මෙම විරෝධතාවය ද පැවැත්විණ.
 
මුස්ලිම්වරුන් වරුන්ට එරෙහිව සිදුකල හමුදා මෙහෙයුමට බෞද්ධ කණ්ඩායම් වල සහාය ලැබුණු බව පැවසෙන අතර ඔවුන් නැවත බාරනොගන්නා බවට බෞද්ධ ප්‍රජා නායකයන් දැඩි තීරණයක සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
( බීබීසි ඇසුරිණි - 085)