සිරියාවේ කඳවුරුවල අවතැන්ව සිටින එරට වැසියන් 20,000ට සිය රටට ඇතුළුවීමට වීසා ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කරයි.

ඔවුන්ට මානවවාදී ආරක්ෂක වීසා අවසර පත්‍රයක් යටතේ වසර පහක කාලයක් බ්‍රිතාන්‍යයේ රැඳීසිටීමට අවසර ලබාදෙන බව ද අගමැතිවරයා පවසයි. මේ 20,000ක පිරිස තෝරාගැනීමේ දී එක්සත් ජාතීන්ගේ කොන්දේසි පිළිපදින බවත් දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් බ්‍රිතාන්‍ය රජය පවසයි.

සිරියාවෙන් පලාවිත් දැනට යුරෝපයේ රටවල සිටින සරණාගතයන්ට මේ සඳහා අවස්ථාව නොලැබෙන බවත් සිරියාවේ තැන තැන පිහිටි කඳවුරුවල අවතැන්ව සිටින පිරිසට පමණක් මේ අවස්ථාව ලැබෙන බවත් දැනගන්නට ඇත. මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට ගොඩනගා ඇති අරමුදල් යොදාගෙන මේ පිරිසට සෙත සැළසීමට ද බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි.

මෙවන් අවස්ථාවක් ලබා දීමට තම රජය කඩිනමින් තීරණය කළේ පසුගිය දා මුහුදු වෙරළට ගොඩගසා තිබූ කුඩා දරුවාගේ මළ සිරුරේ හද සසළ කළ දර්ශන හේතුවෙන් බව ද අගමැතිවරයා පවසයි.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය මේ තීරණය විවේචනය කරමින් කියා ඇත්තේ බ්‍රිතාන්‍යයට සරණාගතයන් 20,000ට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමට හැකියාව ඇති බවයි.