ඉන්දියාවේ මුම්බායි නුවර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන හෆීස් සයීද් අත්අඩංගුවට ගත්බව පාකිස්තාන බලධාරීහු අද (17) ප්‍රකාශ කළහ. 

ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව ද පාකිස්තාන බලධාරිහු කීහ. 

මුම්බායි නුවරට 2008 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිවු දිනක් මුළුල්ලේ පැවැත්විණි. 

පාකිස්තාන බලධාරීන් හෆීස් සයීද් අත්අඩංගුවට ගත්තේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වීමට දින කිහිපයක් තිබියදීය. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් පාලනය කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සයීද් ත්‍රස්තවාදියකු ලෙස නම් කර ඇත. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තයිබා සංවිධානයේ නිර්මාතෘවරයා වන්නේ ද සයීද්ය. මුම්බායි නුවර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව චෝදනා එල්ල කළේ ද එම සංවිධානයටයි. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන සයීද් තම සංවිධානය සතුව සෙමනේරි, පාසල්, රෝහල්, ප්‍රකාශන ආයතන සහ ගිලන් රථ සේවා 300ක් පමණ තිබෙන බවත් කිසිදු සන්නද්ධ හෝ ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ නැතැයි ද පැවැසීය.

රොයිටර් ඇසුරිනි  

055