ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවර පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සිටි 90කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී ඇතැයි වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබී ඇතැයි ද අද (24) පස්වරුවේ එක්වරම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි මහරාෂ්ට්‍ර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන්දියාවට මේ දිනවල මෝසම් වැසි ඇද වැටෙමින් තිබෙන අතර ධාරාණිපාත වර්ෂාව මධ්‍යයේ පුද්ගලයන් 28 දෙනකු මුදා ගැනීමට සහන සේවකයන් හැකි වූ බව බලධාරීහු සඳහන් කළහ. මුදා ගැනීමේ කටයුතුවලට ඒ අවට සිටින නිවැසියන්ගේ සහාය ද හිමිව ඇත. මුම්බායි නුවරින් කිලෝමීටර 200ක් ඈතින් පිහිටි කාර්මික නගරයක් වන මහාද්හි පිහිටි ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබේ.

මෙම අනතුරින් මරණ සිදුව ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

ප්‍රාදේශීය රූපවාහිනි නාලිකා කිහිපයක් ම සුන්බුන් විසිරී ඇති අයුරුත් පොලීසිය ද සුන්බුන් අතර සිර වූ පිරිස් බේරාගැනීමට උත්සාහ කරන අයුරුත් පෙන්වීය. එම ස්ථානයෙන් එක් ගිලන් රථයක් පිටව යන අයුරු එක් විඩියෝ පටයක දැක්විණි.

මුදා ගැනීමේ කටයුතුවලට සහ සහන සේවාවලට පරිපාලනය සියලු සහාය ලබාදෙන බව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය උධාව් තැකරි පවසා ඇතැයි ඔහුගේ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රොයිටර්

055