ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමත්, අධික ජනගහනයත් හේතුවෙන් මීළඟ වසර 100 ඇතුළතදී මිනිස් වර්ගයා මිහිමතින් වඳවී යනු ඇතැයි බටහිර විද්‍යාඥයෝ දෙදෙනෙක් අනතුරු අඟවති.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ෆෙනර් ඇතුළු කණ්ඩායමය. ෆෙනර් ඇතුළු මෙම පිරිස 2010 වසරේ දී ද ගෝලීය උණුසුම පාලනය කර ගත නොහැකි අයුරින් ඉහළ යෑම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම්වත් කර ඇත. එහෙත් ෆෙනර් පවසන්නේ එම අනතුරු ඇඟවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ලෝකයේ බලවත් රටවල් හෝ කන් නොදුන් බවය.

‘ජී 7 කණ්ඩායම උත්සහ ගන්නවා ගෝලීය උණුසුම පිටුදැකීමට. ඒ ගැන ඔවුන්ට උනන්දුවක් තිබෙන බව පෙනෙනවා. එනමුත් දැන් ප‍්‍රමාද වැඩියි. ගෝලීය උණුසුම පාලනය කිරීමට නොහැකි අයුරින් ඉහවහා ගිහින්. එය වළක්වන්න විදියක් නැහැ.’ යැයි මහාචාර්ය ෆෙනර් වැඩි දුරටත් කියා සිටී.

ලොව ඉහළම උෂ්ණත්වයක් වාර්තා වූ වසර ලෙස ගිනස් වාර්තා පොතට එක් වූයේ පසුගිය 2014 වසරයි. එහෙත් මෙම 2015 ඊට වඩා උණුසුම් වනු ඇති බවටත් 2016 වසර ඊටත් වඩා උණුසුම් වනු ඇති බවටත් ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥයෝ බිය පළ කරති.