ප්‍රථම වතාවට වල්ගාතරුවකට ගොඩබැස්සවීමට යවන ලද රොසෙටා අභ්‍යාවකාශ යානය 67පී වල්ගාතරුවට කිලෝ මීටර 50ක් පමණ සමීව අපූරු ඡායාරූප පෘථිවියට එවා ඇත.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය විසින් රොසෙටා අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශගත කරන ලද්දේ එළඹෙන නොවැම්බර් මාසයේ දී එය වල්ගාතරුව මත ගොඩබැස්සවීමේ අපේක්ෂාවෙනි. මේ වනවිට වල්ගාතරුවට ඉතා සමීපව එහි මතුපිට ඡායාරූප පෘථිවියට එවමින් තිබේ.

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ අධ්‍යක්ෂ ඇන්ඩෘ ඇකොමාසෝ කියා සිටියේ මේ ඡායාරූප අධ්‍යයනය කරමින් යානය ගොඩබැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් සොයමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

‘‘ වල්ගාතරුවකට පෘථිවි යානයක් පතිතකිරීමට උත්සාහ ගන්නේ ප්‍රථම වතාවටයි. තව දින හතක් යනවිට මේ යානය වල්ගාතරුවේ න්‍යෂ්ඨියට කිලෝ මීටර 19ක් දක්වා සමීප වනවා. යානය වල්ගාතරුව වටා කක්ෂගත වී ගොඩබැසීමට නිෂ්චිත ස්ථානයක් සොයා ගන්නවා.“

රොසෙටා අභ්‍යාවකාශ යානය වල්ගාතරුව සහ ගැඹුරු අභ්‍යාවකාශ ප්‍රදේශය පෙනෙන මනස්කාන්ත ඡායාරූප එවා ඇත. රොසෙටාහි ගොඩබැසුම් යානයවන පිලේහි පිහිටි සිවා නමැති කැමරාව මේ ඡායාරූප ලබාගෙන ඇත. අගෝස්තු 31 දා ගත් ඒ ඡායාරූපයෙන් ධූම කේතුවේ න්‍යෂ්ඨිය හොඳින් පෙනෙයි. එහි අභ්‍යාවකාශ යානයේ කෙලෙවර ද පෙනෙන අතර සූර්ය කෝෂ සහිත මීටර 14ක් දිගැති සූර්ය තටුව සූර්යාලෝකයෙන් බබලන ආකාරය ද අභ්‍යාවකාශයේ අඳුර සමග විසිතුරුව දක්නට ලැබේ.  

67 පී වල්ගාතරුවේ න්‍යෂ්ඨියේ යානය ගොඩබැස්සවිය හැකියැයි විශ්වාස කරන ස්ථාන පහක් පසුගිය මාසයේ තෝරාගෙන තිබිණි. සමතල හා මටසිලුටු ස්ථාන එලෙස තෝරාගෙන ඇත. එසේ වුව ද යානය වල්ගාතරුවට වඩාත් ආසන්න වීමේ දී පෙනීගොස් ඇත්තේ එලෙස තෝරාගත් තැන් ගල් සහ කඩතොළු සහිත පෘෂ්ඨයන් බවයි. ඒ ස්ථානවලට යානය ගොඩබැස්සවීම අහිතකරය.

නොවැම්බරයේ මේ යානය ගොඩබැස්සවීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට රොසෙටා ව්‍යාපෘතිය සිදුකරන යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය දැන් ලහි ලහියේ නව ඡායරූප අධ්‍යයනය කරමින් සිටියි.

Rosetta 1 Rosetta 2