ලන්ඩන්හිදීය (රොයිටර්)

සෞදි අරාබිය මාධ්‍යවේදී ජමාල් කශෝජිට සිදුවූයේ කුමක්දැයි   විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතු යැයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද (21) සඳහන් කළේය. 

සති දෙකක් මුළුල්ලේ ජමාල් කශෝජිගේ මරණයට කිසිදු සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ සෞදි අරාබිය සෙනසුරාදා (20) තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ සිදු වූ ගැටුමකින් කශෝජි මරණයට පත්වූ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී ජමාල් මරණයට පත්වූ බෙල්ල හිර කිරීමෙන් යැයි එම ප්‍රකාශයෙන් පැයකට පසු සෞදි නිලධාරියෙක් පැවැසීය. 

“කිසිදු ආකාරයකින් මෙම ඝාතනය සාධාරණීයකරණය කරන්න බැහැ. අපි හැකි සෑම අයුරකින්ම මෙය හෙළා දකිනවා” යැයි එම රටවල් තුන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“ඇත්තටම සිදුවූයේ කුමක් ද පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. එය කඩිනමින් කළ යුතු අතර එය විශ්වාසනීය විය යුතුයි. සෞදිය විමර්ශන කරමින් කල්පිතයක් නිර්මාණය කර තිබෙනවා. එය කිසිසේත් පිළිගන්න බැහැ. ඒ නිසා කරුණු සාක්ෂි සහිතව විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතුයි” යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම ඝාතනයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නිසි පියවර ගත යුතු බව ද එම රටවල් අවධාරණය කර ඇත. 

055