මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිදුවීම “වේදනාකාරී” බවත් “යුක්තිය” ඉටු වනු ඇති බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු අද (24) ප්‍රකාශ කළේය.

ජමාල් කෂොක්ජි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරුට චෝදනා එල්ල වී තිබෙන අතර ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඝාතකයන්ට අණදුන් හෝ එම සිදුවීම පිළිබඳව දැන සිටි බවට ද ඇතැම් පිරිස් චෝදනා කරති. ඔහු ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව සිටී.

එම සිදුවීම් දාමයෙන් පසු පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් සල්මාන් කුමරු ඒ බව සඳහන් කළේය. ඔහු එම කරුණු සඳහන් කළේ සෞදි අරාබියේ පැවැත්වෙන ‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ ආයෝජන සමුළුවට සහභාගී වෙමිනි. 

මාධ්‍යවේදී කෂොක්ජි ඝාතනය කිරීම “සාහසික ක්‍රියාවක් බවත් එය කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි” යැයි ද ආයෝජන සමුළුවේදී අදහස් දක්වමින් සල්මාන් කුමරු පැවැසීය.

වැරැදිකරුවන්ට දඬුවම් කරන බව කී සල්මාන් කුමරු විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රතිඵලයක් ලබාගැනීම වෙනුවෙන් සෞදි අරාබිය සහ තුර්කිය එක්ව කටයුතු කරන බව ද කීවේය.

ජමාල් කෂොක්ජිගේ ඝාතනය නිසා සෞදි අරාබිය සහ තුර්කිය අතර සබඳතාවලට හානියක් නොවන බව කී ඔටුන්න හිමි සල්මාන් කුමරු සත්‍ය අනාවරණය කරගැනීම සඳහා සෞදි අරාබිය සහ තුර්කිය සහයෝගයෙන් කටයුතු කරන බව ද කීය. 

අල්ජසීරා

055