දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත මුදල් කඩිනමින්  නිදහස් කර ගැනීම සඳහා පකිස්තාන හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් සහ හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණ බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතත් එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු මොනවාදැයි අනාවරණය කර නැත.

පසුගිය ජූලි මස මුලදී පකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹුනත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.17 වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිනමුත් අගෝස්තු මස අවසන් සතිය තෙක්  අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් නොමැති බව පැවැසෙයි.

පකිස්තානු හමුදාපති බජ්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන මුදල් ඉක්මණින් නිදහස් කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලීම පකිස්තානු හිටපු අගමැති ඉම්රාන් ඛාන් විවේචනය කළේය.

ආර්ථික කටයුතුවලට මැදිහත් වීම හමුදාපතිගේ කාර්යයක් නොවන බව ඉම්රාන් ඛාන් පෙන්වා දුන්නේය.පකිස්තානය කෙතරම් දුර්වල වී ඇත්දැයි එම මැදිහත් වීමෙන් පෙනී යන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.

විදෙස් රජයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානු රජය විශ්වාස නොකරන බව ඉන් පෙනී යන බව ඉම්රාන් ඛාන් පැවසුවේය.   

(රොයිටර්)