ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඇමරිකානු නීතිපතිවරියට අනුව මදුරෝ යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර ඇතැයි ද පැවැසෙයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා ඊට අයත් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෙනිසියුලාව කොකේන් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් බවත්, ඇමරිකාවේ 'ෆෙන්ටැනයිල්' අර්බුදයට දායක වන බවත් ට්‍රම්ප් තර්ක කරයි. ඔහු වෙනිසියුලානු අපරාධ කල්ලි දෙකක් වන 'ට්‍රෙන් ඩි අරගුවා' සහ 'කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්' විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත. 'කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්' කල්ලිය මෙහෙයවන්නේ මදුරෝ විසින් යැයි ද ට්‍රම්ප් චෝදනා කර ඇත. කෙසේ නමුත් මෙම සියලු චෝදනා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි.