ඉන්දියාවේ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ගේ කාර්යාලයට පැමිණ ඉන්දියාවේ රජයේ විමර්ශන කාර්යංශයේ (සීබීඅයි)  නිලධාරීන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට ඔහු චෝදනා කරයි.

මෝදි බියගුල්ලකු හා මනෝ ව්‍යාධිකයකු බවත් ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවඩියක් නිකුත් කරමින් කියා ඇත.

කෙජ්රිවාල්ගේ ප්‍රධාන ලේකම් රජේන්ද්‍ර කුමාර්ගේ කාමරයට පැමිණ සීබීඅයි නිලධාරීන් අද පෙරවරුවේ විනාඩි 20 ක පමණ කාලයක් පරීක්ෂණ සිදුකළ බවත් එන්ඩීටීවී වෙබ් අඩවිය කියයි.

රජේන්ද්‍ර කුමාර් ළඟ හා තවත් අයකු ළඟ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 13ක මුදල් සොයාගෙන ඇතැයි සීබීඅයි නිලධාරීහු කියති. මෙම මුදල් ඔහුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත. මෙයට කෙජ්රිවාල්ගේ සම්බන්ධයක් නැති බවත් ඔහුගේ කාලයේ සිදුවූ දෙයක් නොවන බවත් මෙම පරීක්ෂණය ඔහුට විරුද්ධව මිස ප්‍රධාන අමාත්‍යවරයා හෝ කාර්යාලයීය කටයුතු සම්බන්ධයෙන් නොවන බව සීබීඅයි නිලධාරීහු කියති.

අගමැති මෝදි සම්බන්ධයෙන් කෙජ්රිවාල්ගේ ප්‍රකාශය පිළිකුල් සහගත බව භාරතීය ජනතා පක්ෂය කියයි.

ඔවුන් කළ දේට සමාව ගන්නේ නම් තමාගේ වචන වෙනුවෙන්ද සමාව ගන්නා බව ඊට පිළිතුරු ලෙස අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කර ඇත.

පසුගිය පෙබරවාරියේදී අර්වින්ද් කෙජ්රිවාල්ගේ නායකත්වයෙන් යුතුව ඒඒපී පක්ෂය විශාල ආසන ගණනකින් දිල්ලි මැතිවරණය ජය ගත්තේය.

අර්වින්ද් කෙජ්රිවාල් මාධ්‍යයට සඳහන් කර තිබුණේ හෙට දිනයේ තම පුතා වංචා දූෂණයන්ට සම්බන්ධ වුවහොත් ඔහු නීතියේ රැහැනට හසුකර දීමට තමා පසුබට නොවන බවයි.