රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ  චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ විශේෂ හමුවක්, චීනයේ ටියැන්ජින් පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුව අතරතුරේ පැවැත්විණි.

ෂැංග්හායි සහයෝගීතා සමුළුව ආරම්භ විය. මෙවර පැවැත්වෙන්නේ ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ 25 වැනි රාජ්‍ය නායක සමුළුවය. ටියැන්ජින් නුවර පිහිටි මෙයිජියැං සමුළු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. ෂැංග්හායි සහයෝගීතා සංවිධානයට අයත් කලාපීය රටවල් 26 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

සමුළුවට සමගාමීව පුටින්, මෝදි සහ ජින්පින් සුහදත්වය වර්ධනය කර ගැනීම ලොව කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. මෝදි සහ ජින්පින් අතරේ මේ වනවිට සුහදත්වයක් වර්ධනය වී ඇති අතර එය දෙරට අතරේ දේශසීමා ගැටුම් පවා සමතයකට පත් කිරීමට සමත් වී ඇත. ඉන්දියාවත් චීනයත් අතරේ සෘජු ගුවන් ගමන් පවා ආරම්භ වී තිබේ.

එදිරිවාදිකම් පසෙකලා ඉන්දියාව, චීනයට සමීප වීම චීන ජනාධිපති ෂී ජින්පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සතුට පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකන් ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට සියයට 50 ක තීරුබදු පැනවීම් කර ඇත. එ්, ඉන්දියාව ඇමෙරිකාවේ විරෝධය මැද රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නිසාය. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා ඇත. ඒ, රසියන් ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය කළ බැවිනි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, චීනයට ගියේ ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘අතුල් පහරක්’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.