ඉන්දු-පැසිෆික් කලාපය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

අග්‍රාමාත්‍ය මෝදිගේ ඉන්දුනීසියා, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරය, හෙට (6) ආරම්භ වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සංචාරය ලබන ජූලි 11 වැනිදා නවසීලන්තයෙන් සිය සංචාරය නිමා කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුරදී මෝදි, ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් යන රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එරට ප්‍රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් හමුවීමට මෙන්ම සුප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වේ. ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවකු වන අතර, මිලියනයකට අධික ඉන්දීය සම්භවයක් සහිත වැසියන් පිරිසක් එරට ජීවත් වෙති. එය ඕස්ට්‍රේලියාවේ වෙසෙන විශාලතම විදේශීය ජනගහනයයි.

ඉන්දියාව සහ නවසීලන්තය අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන් නවසීලන්තයේ පාලක සන්ධානය තුළ යම් දේශපාලන නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර, එරට තුළ ඉන්දීය විරෝධී ආකල්ප ද යම්තාක් දුරට ඉස්මතු වෙමින් පවතින වටපිටාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 

මේ අතර, අඅග්‍රාමාත්‍ය මෝදි පිළිගැනීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සූදානමින් සිටී. ඔහු පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නවසීලන්තයට පැමි‍ණෙන්නේ වසර 40 කට පසුව බවත්, මෝදිගේ නවසීලන්ත සංචාරය ඓතිහාසික එකක් වනු ඇති බවත්ය.