සිය රට දේ සිරිසැප දේ යන කියමනට රටක නිපදවෙන අවි ආයුධ වලට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි යන්න ගැටලූවක් වුවත් ඉන්දියාවට එය ගණනක් නොමැති බව පෙනෙනන්ට තිබේ.

ජාතිකවාදී රජයක් ලෙස හැදින්වෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ නව ඉන්දිය රජය දැන් ඉන්දියාවට අවශ්‍ය අවි ආයුධ ඉන්දියාවේම නිපදවීමට පිඹුරුපත් සකසමින් සිටීම ඊට හේතුවයි.

මේ ගැන ලෝකයාගේ අවධානය යොමුවූයේ හෙලිකොප්ටර යානා 200 ක් ආනයනය කිරීම සදහා ලබා දී තිබූ ඇණවුමක් අවලංගු කිරීමට ඉන්දියා රජය පසුගියදා කටයුතු කිරීමත් සමගය.එම ඇනවුමේ වටිනාකම ඩොලර් කෝටි සියයකි (රුපියල් කෝටි 13000කි).

එම හෙලිකොප්ටර ඉන්දියාවේම නිපදවීමට බලාපොරොත්තු වන බව ඉන්දියා රජය ප්‍රකාශ කිරීම ලෝක ආරක්ෂක බලවතුන් මවිත කරවීමට සමත්වූවත් විය.

මෙලෙසම ගුවන්යානා හා සබ්මැරීන සදහා ලබාදී තිබුණු ඇනවුම් 2 ක් අවලංගු කිරීමට ඉන්දියා රජය කටයුතු කළ අතර එය ඉන්දියාවද අන්තර්ජාතික අවි වෙළදපොලට එක්වීමට සූදානම් වන බව මනාව පෙන්වා දුනි.

ගිනි අවි හා අනෙකුත් ආරක්ෂක උපකරණ මිලදී ගන්නා රටවල් අතරින් ඉන්දියාව සිටින්නේ ප්‍රථම ස්ථානයේය.ලෝකයේ අවි අපනයන්ගෙන් සියයට 141 ක්ම ඇනවුම් කරන්නේ ඉන්දියාව බව පැවසේ.එය චීනය සිදුකරන අවි ආනයනයන් මෙන් තුන්ගුණයකි.

මේ තත්ත්වය ඉන්දියාවේ අසල්වැසියන් වන පකිස්තානය මෙන්ම චීනයද තිගැස්මට පත්කිරීමට සමත්ව තිබෙන්නකි.

දැන් ඉන්දියාව තම රටේම අවි නිපදවීමට බලාපොරොත්තු වනවා යැයි කීම එම රටවල් හා ඉන්දියාව අතර තිබෙන දුරස්ථභාවය තවදුරටත් වැඩි කරනු මිස අඩු කිරීමක් සිදු නොකරනු ඇති බව විචාරකයින් පෙන්වා දේ.

ඉන්දියාව හා චීනය අතර සීතල යුද්ධයක් ඇති ලකුණු බොහෝ කාලයක සිට පෙනෙන්නට තිබුණත් ඉන්දියා රජයේ මේ තීරණය දෙරට අතර ඇති එම ගැටුම ලොවම ඉදිරියේ අනාවරණය කළාක් වැනි බව ඔවුන්ගේ මතයයි.

එසේවුවත් චීනය අත්කරගෙන තිබෙන ප්‍රගතිය දක්වා ළඟාවීමට ඉන්දියාවට එක රැයින් නම් නොහැකි වනු ඇති බව සහතික යැයි විචාරකයින් කියයි.