බටහිර රටවල් හි පැවැත්වෙන සාකච්ඡා හා සමුළුවලට තමන්ට ආරාධනා නොලැබෙන්නේ බටහිර පාලකයින් තමන්ට බිය නිසා බව සිම්බාවේ ජනපති රොබට් මුගාබේ පසුගියදා ජනහමුවක් අමතමින් පැවසීය.

රොබට් මුගාබේගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයන් නිසා ඇමරිකාව හා යුරෝපා සංගමය ඔහුට යුරෝපයට හා ඇමරිකාවට පැමිණිය නොහැකි වන පරිදි සංචාරක තහනමක් පනවා තිබෙන අතර එම රටවල ඇති ඔහුගේ දෙපළද රාජසන්තක කර ඇත.

මුගාබේට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා,චංචා චෝදනා,ආදී නිමක් නැති චෝදනාවන් නැගී තිබුණද ඔහු තවමත් සිම්බාවේහි ජනපති අසුන හොබවයි.

ජනහමුවේදී මුගාබේ ඔහුගේ ආධාරකරුවන් අමතමින් ඔවුන්ගේ සවිය නිසා නොවන්නට මෙසේ බටහිර බිය ගන්වන පාලකයෙකු වන්නට තමන්ට කිසිදිනෙක හැකියාව ලැබෙන්නේ නැතැයි කියා සිටියේය.මුල් අවස්ථා වලදී ඔවුන්ගෙන් තමන්ට ආරාධනා නොලැබුණු විට සිම්බාවේ ලොවෙන් කොන් කර ඇතැයි සිතුනද දැන් ඔවුන් තමන් මගහරින්නේ බිය නිසා බව තමන්ට තේරුම් ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.

සිම්බාවේහි ඉතිරිව සිටින සුදු ජාතිකයින් ඔවුන්ගේ රටවල් බලා යා යුතුව ඇතැයිද ඔහු කීවේය.ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ කාලයේ මෙන් නැව් නොව දැන් සිම්බාවේට කෙටි කාලයකින් තවත් රටකට ළගා විය හැකි ගුවන්යානා තිබෙන බවද ඒ එකකින් ඔවුන්ව ගෙනයා හැකි බවද ඔහු පැවසුවේය.මුගාබේගේ කි‍්‍රයාකලාපය හමුවේ සිම්බාවේහි සිටි සුදු ජාතිකයින් බොහෝ දෙනෙක් දැනටමත් රට හැරගොස් ඇති අතර ඉතිරිව සිටින්නේ 300 ක් වැනි ප‍්‍රමාණයක් බව සඳහන්ය.

90 හැවිරිදි මුගාබේ තමන්ගෙන් පසු ජනපති අසුන තම බිරිඳට ලබාදීමට යන පුවතක්ද පසුගිය සමයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.