බ්‍රසීලයේ අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නමුත්, තමන් කිසිම අවස්ථාවක තම දියණියට ‘කොවිඩ් 19’ සඳහා එන්නත් ලබා​ නොදෙන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරනෝ කියයි.

බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ‘කොවිඩ් 19‘ එන්නතට විරෝධය දක්වන එන්නත ප්‍රතික්ෂේප කරන ලෝක නායකයෙකි. බොල්සරානෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සුවය ලැබූවෙකි.

සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ අනුව, බ්‍රසීල සෞඛ්‍ය ඇමැති මාසෙලෝ ක්විරෝගා නිවේදනය කර ඇත්තේ ලබන ජනවාරි 5 වැනිදා සිට බ්‍රසීලයේ අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට කටයුතු කරන බවය.

‘මා මගේ 11 හැවිරිදි දියණියට එන්නත් දෙන්නේ නැහැ. මගේ තීරණය එයයි. දරුවන්ට ‘කොවිඩ් 19’ එන්නත් දීම සුදුසු යැයි මා විශ්වාස කරන්නේ නැහැ. තවමත් මා එන්නත ලබා ගෙන නැහැ. ලබා ගන්නෙත් නැහැ’ යැයි දක්ෂිණාංශික අදහස් ඇති බොල්සරානෝ පැවැසුවේ සැන්ටා කැටරිනා නුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණු අවස්ථාවකදීය.

ඇමෙරිකාවට පසු ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19’ මරණ තවමත් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

(රොයිටර්)