මෙක්සිකෝවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන් එරට පළාත් රැසක ජල ගැලීම් සහ නායයෑම් හටගෙන ඇති බවත්, පුද්ගලයන් 44 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ, වෙරාකෲස්, පුවේබ්ලා, කියුරේටාරෝ සහ සැන් ලුවිස් පොටෝසී යන පළාත්වලට යැයි පැවැසෙයි. ජීවිත හානි වැඩිපුර වාර්තා වන්නේ වෙරාකෲස් සහ පුවේබ්ලා යන පළාත්වලය.

මහ වැසි සමග පළාත් රැසකට විදුලිය ද අහිමි විය. විදුලිබලය නොමැතිව පීඩාවට පත්වුණු මෙක්සිකෝ වැසියන් ගණන 3,20,000 කි.

නිවාස 16,000ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. හදිසියේ හටගත් ජල ගැලීම්වලට ගසාගෙන ගිය මෝටර් රථ තැන් තැන්වල ගොඩ ගැසීඇති බවද දකින්න ලැබෙයි.