ලොව වයස්ගත ම කාන්තාව වූ මිසාඕ ඔකාවා (117) හෘදයාබාධයකින් මියගිය බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙළොව එළිය දැක ඇත්තේ 1898 මාර්තු 05 දා බවට ලිඛිත සාක්ෂි තිබිණි.

දරුවන් තිදෙනකු බිහි කළ ඇය මුණුපුරු මිනිපිරියන් සිව් දෙනකුගේ හා මී මුනුපුරැ මිනිපිරියන් හය දෙනකුගේ අත්තම්මා කෙනෙකි. ඇය ලෝකයේ වයස්ගත ම කාන්තාව ලෙස 2013 වර්ෂයේ දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වූවාය.  මාර්තු 05 දා තම උපන්දිනය සමරණ අවස්ථාවේ දී ඔකාවා මහත්මිය කියා සිටියේ අවම වශයෙන් දිනකට පැය අටක් පමණ නිදා ගැනීමත් ඇගේ ප්‍රියතම ආහාරය වන සුසී නමැති සුසී කෑමට ගැනීමත් දීර්ඝායුෂ ලැබීමේ රහස බවයි.

විනාකිරි වලින් රස කරණ ලද තම්බපු හාලේ බත සහ මැකරල් ද ඉතා කැමැත්තෙන් අනුභව කළ බව ද ඇය කියා ඇත. ඇගේ 117 වැනි උපන්දින සැමරුම ජපාන රූපවාහිනියේ විකාශ කැරිණි.

ඔකාවා මහත්මියගේ පියා ජපානයේ සම්ප්‍රදායික ඇඳුම වූ කිමෝනා නිෂ්පාදනය කරන්නෙකි. ඇය 1919 වර්ෂයේ දී විවාහ වූ අතර යුකිකෝ නමැති සැමියා ද ව්‍යාපාරිකයෙකි. ඔහු සමඟ ඇය කොබේ නගරයේ ජීවත්වූවාය.  

ශතවර්ෂ තුනක් ඔස්සේ දිවි ගෙවූ ඇය ජපාන අධිරාජ්‍යයින් තිදෙනෙක්, බ්‍රිතාන්‍ය රජ පරපුරවල් හයක්, සහ ඇමරිකන් ජනාධිපතිවරු 20 දෙනකු දැක ඇත.

මෙතෙක් ගිනස් පොතේ  වාර්තා වි ඇති වයස්ගත පුද්ගලයා වන්නේ ප්‍රංශයේ විසු ජීන් කැල්මෙන්ට් නැමැත්තාය. මොහු වර්ෂ 122 සහ දින 164 ක් ජීවත්ව 1997 අගෝස්තු මාසයේදි මියගියේය.