පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන්  භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.

ළමා සිත්හි ඇති ව්‍යාකුල සිතුවිලි වලින් අත්මිදීම සඳහා සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකිවූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරුවරියක් පැවසුවේය. භාවනා වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට සතුට පලකල සිසු සිසුවියන් කණ්ඩායමක් යොදා සිදුකළ අත්හදා බැලීමකින් ළමා සිතුවිලි යහපත් තත්වයකට හරවා ගැනීමටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇති අවධානය සෑහෙන දුරකට වර්ධනය කර ගැනීමටත් ආතතිය අඩුකර ඉගෙනුම දියුණු කර ගැනීමටත් හැකිවූ බව ඒත්තු ගිය නිසා බාලාංශ පන්තිවල සිට සතියකට පැය භාගයක් සියලුම සිසුන්හට භාවනාව ප්‍රගුණ කරගැනීම සඳහා පන්තියක් පැවැත්වීමට ආරම්භ කල බව එම ගුරුවරිය කීවාය.

පාසල් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රීය කාර්ය සිද්ධිය ඉස්මතු කර ගැනීම ඉතාමත් වැදගත් වන බව පිළිගන්නා බවත් ඒ සඳහා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් ධනාත්මක ප්‍රතිපල ලබාගත හ්කිනම් එයද වැදගත් ලෙස සැලකිය යුතු බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිනි නිකි මෝර්ගන් පවසා ඇත.

භාවනාව ප්‍රගුණ කිරීමෙන් දරුවන්හට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් එය අනුන් ලවා විසඳා ගැනීම කෙරෙහි විශ්වාශයක් තබාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම විසඳා ගැනීමට අවස්තාවක් ඇතිබව ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇතිබවත් සතිපට්ඨාන භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යන බවත් බර්ක්ෂයර් ප්‍රාන්තයේ පාසලක සේවය කරන භාවනා උපදේශක වරයෙක් පැවසුවේය.

web_20151127MEDITATION2