ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප‍්‍රහාරයේ සැකකරුවන් වන සානේව් සහෝදරයන් නිව්යෝර්ක් නගර මධ්‍යයේ ඇති ටයිම්ස් චතුරස‍්‍රයේ බෝම්බ අටවා පුපුරුවා හැරීමට සැලැසුම් කර තිබූ බව නිව්යෝර්ක් නගරාධිපති බ්ලූම්බර්ග් පවසයි.
මැරතන් තරගය අතරතුර පුපුරුවා හැරි ගෑස් කුකර් යොදා නිර්මාණය කළ පීඩන බෝම්බවලට සමාන බෝම්බ හා අත්බෝම්බ නිව්යෝර්ක් ප‍්‍රහාරය සඳහා යොදා ගැනීම සානේව් සහෝදරයන්ගේ අරමුණ වූ බව ද නගරාධිපතිවරයා කීය.
වෙඩිවැදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටින බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ දෙවැනි සැකකරුවන 19 හැවිරිදි සොකාර් සානේව් ෆෙඩරල් පරීක්ෂකයන් ඉදිරියේ පාපෝච්චාරණය කරමින් සිය මීළඟ ඉලක්කය පිළිබඳ මෙසේ තොරතුරු හෙළි කළ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බොස්ටන් ප‍්‍රහාරයෙන් පසුව සැකකරුවන් ලූහුබැඳ ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් සිද්ධියේ පළමු සැකකරු වූ 26 හැවිරිදි ටැමරන්ලන් සානේව් ජීවිතක්ෂයට පත්විය. ඉන් පසු දෙවැනි සැකකරු වන සොකාර් සානේව් පොලිසියට කොටු විය. ඒ අවස්ථාවේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් සොකාර් බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
වෙඩිවැදී තුවාල ලැබූ සොකාර් දැන් සුවය ලබමින් සිටින බව රෝහල් බලධාරීහු පවසති.
විනාශකාරී අවි භාවිත කර මිනිස් ඝාතන සිදු කිරීම සොකාර්ට එල්ලවී ඇති චෝදනාය. සොකාර් සුවය ලැබූ වහාම ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් හමුවට පැමිණවීමට නියමිතය.
මේ අතර සොකාර් සොහොයුරන්ගේ මව රුසියාවේ සිට කියා සිටියේ තම පුතුන් මෙම ප‍්‍රහාරයට වගකිවයුත්තන් නොවන බවයි.