රුසියන් බලධාරීන්ගෙන් එල්ලවුණු දැඩි බලපෑම් හමුවේ, එරට ප්‍රමුඛතම ස්වාධීන පුවත්පතක් වන නොවයා ගැසටා පුවත්පත මුද්‍රණය අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ, එම පුවත්පත මුද්‍රණය කරන පුවත්පත් කාර්යාලය වසා දැමීමත් සමගය. 

වසර 33 ක් පුරා ක්‍රියාත්මක වූ මෙම පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකුට එරෙහිව නඩු පැවරීම, මූල්‍ය ආධාර අහිමි වීම සහ පුවත්පත් කාර්යාලයෙන් ඉවත් වීමට සිදුවීම ඇතුළු කරුණු පුවත්පත වසා දැමීමට හේතුවක් වූ බව පැවැසෙයි.

හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචොව් හිමි වූ නොබෙල් සාම ත්‍යායේ මුදල් යොදාගෙන මෙම පුවත්පත ආරම්භ කර තිබුණි. ගවේෂණාත්මක මාධ්‍යකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වෙනුවෙන් පෙනී සිටි පුවත්පතක් ලෙස නොවයා ගැසටා ප්‍රසිද්ධ විය. 

පසුගිය කාලයේ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පුවත් පළ කිරීම හේතුවෙන්, පුවත්පත රුසියන් රජයේ දැඩි විවේචනයට ලක්වුණු බව ද පැවැසෙයි. රුසියන් බලධාරීන්ගෙන් පීඩනයක් එල්ල වී පුවත්පත නවත්වා දැමීම සිදුවූයේ ඒ අනුවය.