දඩාවතේ යන බල්ලන්, මිනිසුන් සපා කන්නේ නම්, උන් ජීවිතාන්තය තෙක් සිරකර තැබීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය නියෝග කර ඇත.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුවය.
ප්‍රාන්ත බලධාරීන්ගේ නියෝගයට අනුව, ජීවිතාන්තය තෙක් සිරකර තැබෙනු ඇත්තේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව, මනුෂ්‍යයන්ට සපා කන බල්ලන්ය.

දඩාවතේ යන බල්ලකු ප්‍රකෝප කිරීමකින් තොරව, සපා කෑමක් කරන්නේ නම්, එම බල්ලා අල්ලා, දින 10 ක කාලයක් සත්ව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීම සිදුවෙයි. 

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සෑම ප්‍රධාන නගරයකම මේ අයුරින් සත්ව රැඳවුම් මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ද පැවැසෙයි. බල්ලන් ඇල්ලීම නගරසභා බලධාරීන්ට පවරා ඇත.

එසේ එක් වරක් සපා කෑමක් කරන බල්ලකු දින 10 කට පසු නිදහස් කරන අතර, ඌ යළිත් වරක් සපා කෑමක් කරන්නේ නම්, දිවි ඇති තෙක් සත්ව රැඳවුම් මධ්‍යස්ථානය සිරකර තැබෙනු ඇත.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය වෙනුවෙන් ප්‍රධාන ලේකම් අම්රිත් අභිජාත් මෙම නියෝගය, ප්‍රාන්තයේ සියලුම ග්‍රාමීය සහ නාගරික පළාත් පාලන ආයතන වෙත යොමු කර ඇත. ඒ, දඩාවතේ යන බල්ලන් කළමනාකරණය කිරීමේ නව වැඩසටහන හඳුන්වා දෙමිනි. 

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගර වැසියෝ දඩාවතේ යන බල්ලන්ගේ ප්‍රහාරවලට නිරන්තරයෙන් ලක් වෙති. ප්‍රාන්තයේ පාසල් දරු දැරියන් ද නිරන්තරයෙන් බලලන්ගේ සපාකෑමට ලක් වන බවත්, පසුගිය මාස කීපයේ දී එය සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කිසියම් කෙනකු ඉදිරිපත් වී, දිවි ඇති තෙක් රඳවා තැබෙන බල්ලකු හදා වඩා ගැනීමට කැමැත්ත පළ කරන්නේ නම්, එම බල්ලාට නිදහස් කර, එම තැනැත්තාට බාර දෙන බවත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය පැහැදිලි කර ඇත. එසේ කිරීමට නම්, එම තැතැත්තා බල්ලාගේ භාරකරු ලෙස දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතුය.