ඇමෙරිකාව බෙලරූසයට පැනවූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග, දේශපාලන සිරකරුවන් 25 දෙනකු නිදහස් කිරීමට බෙලරූස ජනාධිපති ඇලැක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රමුඛ රජය පියවර ගත්තේය.

දේශපාලන සිරකරුවන්ට මෙසේ නිදහස හිමිවූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ජෝන් කෝල්, බෙලරූසයේ මින්ස්ක් අගනුවරට ගොස්, බෙලරූස් බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව යැයි ද පැවැසෙයි.

ඇමෙරිකන් විශේෂ නියෝජිත ජෝන් කෝල් සහ බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ අතරේ ද හමුවක් පැවැත්විණි. පසුගිය කාලයේ නිරන්තරයෙන් දෙදෙනා අතරේ රහසිගතව දුරකතන පණිවුඩ හුවමාරු වුණු බව ද මාධ්‍ය වාර්තා කරයි.

එම සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීම සහ සම්බාධක ලිහිල් කිරීම සිදුවුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට රුසියන් හමුදා පහර දෙන්නේ බෙලරූස් දේශසීමාව හරහාය. යුක්රේනය රුසියාව සහ බෙලරූසය එක ළඟ පිහිටා ඇති රටවල්ය.