ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සිංහල, ජර්මන් දායකත්වයෙන් ඔක්තෝබර් 31 වැනිදා උදේ 10 සිට දවස පුරා එස්.ඕ.එස් කින්ඩර්ඩ්‍රොෆ් බර්ලින් මොබිට් 10551 හී වොල්ඩ් ස්ට‍්‍රාස 23/24 දරන ගම්මානයේදී පැවැත්වීමට යයි.

සූරිච් බෞද්ධ විහාරාධිපති ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ උපදේශක ශ්‍යාමෝපාලි මහවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක වල්පොල කළ්‍යාණතිස්ස හිමි, බර්ලින් විහාරාධිපති හා වැවුරුකන්නල රජමහා විහාරවාසි දික්වැල්ලේ සීලසුමන හිමි, වැවුරුකන්නල විද්‍යාතුංග පරිවේනාධිපති දික්වැල්ලේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කරතොට පඤ්ඤාශීල හිමි, ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති දික්වැල්ලේ ධම්මවිලාස හිමි, කැලිෆෝනියා බෞද්ධ විහාරාධිපති තවලම සරණ හිමි, පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි, බොන් සමාධි බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමි, ඩාලවිට්ස් ධම්මකාය තායි විහාරාධිපති ප‍්‍රා මොන්චායි සෙතනාපෝන් හිමි, ඇතුළු ස්වාමීන් වහන්සේලා 11 නමක් එහි වැඩම කිරිමට නියමිතය.

කඨින චීවරය භාර ගෙන කටයුතු කරනුයේ බර්ලින් නුවර පදිංචි වසන්ත කාරියවසම් මහතා හා අලංකා කාරියවසම් මහත්මියයි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම, ඉන්දීය තානාපති ගෝඛාලේ හා කාම්බෝජ තානාපති තායි චුන්, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති රෙනර් නොවාක් ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මහත්ම මහත්මීහු ද  සිංහල, ජර්මන්, තායි, වියට්නාම්, කාම්බෝජ, ලා ඕස් බෞද්ධයන් ද මේ පිංකමට සහභාගි විමට නියමිතය.