බුරුන්ඩි දිවයිනේ පවතින ගැටුම්කාරි තත්ත්වයෙන් පසු මාර්ග කිහිපයක තිබි මළ සිරුරු 34ක් පමණ සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් බුජුම්බුරා හි එක් පෙදෙසකින් මළ සිරුරු 21ක් හා තැන තැනින් තවත් කිහිපයක් සොයාගත් බව එරට ආරක්ෂක අංශ පවසයි. මියගිය පිරිස තරුණයන් බවත් එම සිරුරුවල වෙඩි තැබූ බවට සළකුණු දක්නට ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මියගොස් සිටි වැඩි දෙනකුගේ සිරුරුවල අත් පිටුපසට කර ගැටගසා තිබෙනු දක්නට ලැබිණි.

මේ සිරුරු හමුවීමට දිනකට පෙර බුරුන්ඩි දිවයිනේ හමුදා බැරැක්ක තුනකට කැරළිකරුවන් විසින් ප්‍ර‍හාර එල්ල කර තිබිණි. බුරුන්ඩිවල මැයි මාසයේ ඇතිවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණ හා උද්ඝෝෂණ වලින් පසු මේ කලබලකාරී තත්ත්වය දිගින් දිගටම පැවතිණි. ජූලිවල පැවැති මතබේධාත්මක මැතිවරණයෙන් බුරුන්ඩි ජනාධිපති තෙවැනි වරටත් ජයග්‍ර‍හණය කිරීම මේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් පැවතීමට හේතුවිය. දැනට සොයාගෙන ඇති මළ සිරුරුවලට වඩා වැඩි සිරුරු ප්‍ර‍මාණයක් තැන් තැන්වල ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.