බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන ජනමත විචාරණය අද පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ ප්‍රතිපක්ෂ යුරෝපා සංගමයට විරුද්ධ පාර්ශව අවසන් සටනට වැද ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

එංගලන්තය, වේල්ස්, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට තීරණයක් ලැබුණහොත් බ්‍රිතාන්‍ය මූල්‍ය අර්බුදයකට ලක්විය හැකි බවත් විදේශ විනිමය පහත වැටිය හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඔබේ පවුලේ අනාගතය අවදානමේ හෙළීමක් වනු ඇති බවත් බ්‍රහස්පතින්දා ඡන්දය ඒ සඳහා පාවිච්චි කළහොත් එය සිකුරාදාට වෙනස් කළ නොහැකිවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.

මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතුය යන ස්ථාවරයේ සිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද පසුගියදා ඝාතනය කැරිණි.

එසේ හෙයින් ජනමත විචාරණය ඉතා උණුසුම් එකක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

ඡන්ද විමසුම සඳහා බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මෙන්ම එරට පදිංචිව සිටින ආසියාතිකයන්ටද සහභාගී විය හැකි නමුත් එරට වෙසෙන යුරෝපා ජාතිකයන්ට එම අවසරය ලබාදී නැත.