ලන්ඩන්හිදීය (රොයිටර්)


බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් පවසයි. 


බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හඳුන්වයි. බි‍්‍රතාන්‍යය අගමැතිනිය ‘බ්‍රෙක්සිට්’ සාකච්ඡා නිසි ලෙස හසුරුවන්නේ නැතැයි ද ලන්ඩන් පුරපතිවරයා චෝදනා කරයි.

 
‘‘බ්‍රෙක්සිට් සාකච්ඡා අවුල් ජාලයක් වෙලා. හරියට මඩ ගොහුරක ගිලිලා වගේ. සාකච්ඡා සම්පූර්ණයෙන් අවහිර වෙලා. රට හානිකර මාවතකට ගමන් කරමින් සිටිනවා’’ යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් ‘සන්ඬේ ඔබ්සවර්’ පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කර ඇත.

  
බි‍්‍රතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වැනි දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. කෙසේ නමුත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කර ඇති ‘බ්‍රෙක්සිට් සැලසුම්’ තවමත් අනුමත වී නැත. ඇතැම් මන්ත‍්‍රීවරු ද සහ ව්‍යාපාරික නායකයන් ද අවසන් තීරණය සම්බන්ධයෙන් නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු පවසති.  


එහෙත් ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි බි‍්‍රතාන්‍යය අගමැතිනිය අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කළාය. ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි පවසන බි‍්‍රතාන්‍යය අගමැතිනිය මන්තී‍්‍රවරුන් කළ යුත්තේ අවසාන ගිවිසුම පිළිගැනීම හෝ එසේ නොකිරීම යැයි ද පවසන්නීය. 


බි‍්‍රතාන්‍යය කම්කරු පක්ෂයේ ඇතැම් පිරිස් ද ලන්ඩන් පුරපතිවරයාගේ අදහසට සහාය පළ කරති. දෙවැනි ජනමත විමසුමක් පැවැත්වුවහොත් කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට ද දැඩි පීඩනයක් එල්ලවනු ඇතැයි ලන්ඩන් පුරපතිවරයාගේ මතය අනුමත කරන එම පක්ෂයෙක් තවත් අයෙක් පැවැසීය. 

055