ලන්ඩන්හිදීය (රොයිටර්)

බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඇයගේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යනුවෙන් තේරීම් දෙකක් ලබා දී ඇතැයි වාර්තා වේ. 

තමන් යුරෝපීය සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය ලබාදෙන්න නැතහොත් එය ප්‍රතික්ෂේප කර බ්‍රිතාන්‍යය වඩාත් බෙදීමකට සහ අවිනිශ්චිත තත්ත්වයකට පත් කරන්න යැයි බ්‍රිතාන්‍යය  අගමැතිනිය මන්ත්‍රීවරුන්ට තරමක තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා ඇතැයි ද වාර්තා වේ. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව ගිවිසුමක් ඉරිදා (25) යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු අතර යුරෝපා සංගමයේ නායකයෝ අදාළ ගිවිසුම අනුමත කළහ. එමෙන්ම එහිදි දේශපාලන ප්‍රකාශනයක් ද අනුමත කරගනු ලැබිණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු දෙපාර්ශවය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ දේශපාලන ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇත. 

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ ගිවිසුමට ඇයගේ කන්සර්වේටිව් පක්ෂයෙන් ඇතැම් කොටස්වලින් මෙන්ම එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වී ඇත. එපමණක් නොව උතුරු අයර්ලන්තයේ අගමැතිනි තෙරේසා මේ ට සහාය දක්වන පාර්ශ්ව ද අදාළ ගිවිසුම විවේචනය කර ඇත. 

055