බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිශී සුනාක් ගේ බිරිඳ අක්ෂාටා මුර්ති ගේ අදායම් බදු විස්තර බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් එරට ජනතාවට අනාවරණය කර තිබේ.

අක්ෂාටා මුර්ති ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ‘ඉන්ෆොසිස්’ සමාගමේ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 700 ක වටිනාකමින් යුත් කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන අතර, ඉන් වසරකට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 11.6 ආදායමක් ලබන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

‘ඉන්ෆොසිස්’ සමාගමේ නිර්මාතෘවරයෙක වන නාරායන් මුර්ති මහතා අක්ෂාටා මුර්ති ගේ පියාය.

බ්‍රිතාන්‍යයේ  ජීවත් වන නමුත් අක්ෂාටා මුර්ති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස තම ස්ථිර පදිංචිය  ප්‍රකාශ කර නොමැති  නිසා ඇයගේ අදායම්  සඳහා එක්සත් රාජධානියට බදු ගෙවීමට නීතියෙන් බැඳී නැතැයි විශ්ලේෂකයෝ පවසති.

බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ ඇයගේ වාර්ෂික අදායම වූ  බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 11.6 ක් සඳහා අදායම් බදු ගෙවනු ලැබුවේ නම් වසරකට  බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 2.1 ගෙවීමට සිදුවන බවයි.

පසුගියදා තම බිරිඳගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් මුදල් අමාත්‍ය සුනාක් පැවසුවේ අක්ශාටා මුර්ති කිසිඳු නීතිමය වැරද්දක් සිදු කර නොමැති බවය.

තම ස්ථිර පදිංචිය බ්‍රිතාන්‍ය ලෙස ප්‍රකාශයට පත් කර නැති තම බිරිඳට මාධ්‍ය මෙසේ පහර දීම සාධාරණ නොවන බව ඔහු පැවසුවේය.

අක්ෂාටා මුර්ති පැවසුවේ කිසිම විටත් තම සැමියාට බාධාවක් නොවන බවත් තමන් තම අදායම් බදු තත්ත්වය  වෙනස් කරමින්  බදු ගෙවීම ආරම්භ කරන බවයි.

රජයේ නිලධාරීන් මෙම තොරතුරු මාධ්‍යට හෙළි කළ බව මාධ්‍ය වාර්තා කළත් ජොන්සන් ප්‍රමුඛ රජය එය ප්‍රතික්ෂේප කරමින් තොරතුරු හෙළිකළ පාර්ශවයන් සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

(බීබීසී)