එංගලන්තයේ මහ මැතිවරණය අද (7) වැනිදා පැවැත්වෙයි. හෙට උදේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අලුතින් මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා පත්කෙරෙන නමුත් ඒ පිළිබඳ කිසිම " ඡන්ද උණුසුමක්" කොහෙවත් දැනෙන්නට දකින්නට නැත. මෙවර මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තිදෙනෙක් ඉදිරිපත්ව සිටිති. මෙයින් හැම්ෂයර් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින රනිල් ජයවර්ධන ලෙහෙසියෙන් ජයග්‍රහණය කරනු ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසා තිබුණි.
අද එංගලන්තයේ ඕනෑම තැනක ඇවිද යනවිට මැතිවරණයක් තියෙන බවක් පෙන්වන කිසිදු හෝඩුවාවක් දක්නට නැත.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විට්නි ආසනයේ මෙවරත් ඡන්දයට ඉදිරිපත්වී සිටී. ඒ නමුත් ඔහුගේ මහා පරිමාණයේ කටවුට් කොහෙවත් දකින්නට නැත. රජයේ ආයතන මඟින් අගමැති වරයාගේ දත් තිස්දෙකම පෙන්වමින් සිනාසෙන රූපයක් සහිතව පසුගිය කාලයේ ඔහුගෙන් සිදුවූ සේවාවන්ට " කළගුණ" සැලකීමේ වටිනාකම විස්තර කෙරෙන යෝධ පුවරු කිසිවක් සවිකර නැත. රටපුරා ගහක් ගලක් ගානේ කණුවක්, බිත්තියක්, තාප්පයක් ගානේ එකක් උඩින් එකක් ඇලවූ මැතිවරණ පෝස්ටර්ද දක්නට නැත.
එසේ කළහොත් ඡන්දය පසෙක තියා සියල්ල අකුලාගෙන ගෙදර යන්නටද ඒවාට සම්බන්ධ වුවන්ට සිදුවන බව ඔවුහු දනිති.
මුදල් ගෙවා හෝ නොගෙවා බස් රථ ලබාගෙන තම පාක්ෂිකයින් අති විශාල පිට්ටනි වලට ගාල් කරවමින් දැවැන්ත රැලි පැවැත්වීමක් ද ඉංග්‍රීසි කාරයින්ට තවමත් හුරුවී නැත.
මැතිවරණ කටයුතු සඳහා ගමන් කිරීමට පක්ෂ ප්‍රධානිහු විශේෂයෙන් සරසන ලද බස් රථයක් පාවිච්චි කරති.
දුර ගමන් සඳහා මගී දුම්රිය භාවිත කෙරේ. ඡන්ද වැඩ සඳහා රජයේ දේපළ, මිල මුදල් හෙලිකොප්ටර් ආදිය භාවිතා කිරීමේ හැකියාවක් බ්‍රිතාන්‍ය පාලකයින්ට නැත. සියලුම විය හියදම් දරන්නේ පක්ෂ අරමුදල මඟිනි. ඒවායේ ගණන් හිලව් විගණනය කෙරේ.
කට පූච්චානමට ගිරිය උලුප්පා කෑමොර ගසා ඉංග්‍රීසි කාරයාගෙන් ඡන්දයක් ලබාගන්නට බැරිය.
මෙහේ ඡන්දයක් පවතින බවක් පෙන්වන කිසිදු හෝඩුවාවක් පෙනෙන්නට නැත්තේ ඒ නිසාය.
එහෙමනම් එංගලන්තයේ ඡන්දය කෙරෙන්නේ කොහොමද?
මැතිවරණ ප්‍රචාරක කටයුතු මුලික වශයෙන්ම කෙරෙන්නේ ජන මාධ්‍ය ඔස්සේය. පුවත්පත් ගුවන් විදුලිය සහ රුපවාහිනයෙන් සෑම පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රචාරය කරයි.
මෑතකදී අන්තර්ජාලයද ප්‍රචාරක කටයුතු සඳහා මහා පරිමාණයෙන් යොදා ගනු ලබයි.
අපේක්ෂකයින්ගේ උදව්කරුවන් නොකඩවා සිය ආසනයේ සියලුම දෙනා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් ඡන්ද ප්‍රචාරක කටයුතු කරති. මේ බොහෝ දෙනා එසේ කරන්නේ ස්වෙච්ඡාවෙනි.
පෞද්ගලික ජන මාධ්‍ය අපක්ෂපාති බවක් පෙන්වන බවක් පෙනෙන්නට නැත. මාධ්‍ය ආයතන අයිතිකරුවන් දරන මතය අනුව ඒවායේ කෙරෙන ප්‍රචාරයන් පක්ෂපාති වෙයි. එය නොවැලැක්විය හැකි දෙයකි.
ලෝ ප්‍රකට බී බී සී ගුවන් විදුලිය සහ රුපවාහිනිය රජයේ ආයතන වෙයි. ඒවායේ මැතිවරණ සමයේ විවිධ දේශපාලන වැඩ සටහන් ප්‍රචාරය වෙයි. නමුත් එම කිසිම ආයතනයකින් රජයට පක්ෂපාති දේශපාලනමය වැඩසටහනක් ප්‍රචාරය කෙරෙන්නේ නැත.
" ඩේවිඩ් කැමරන්ගේ පක්ෂය නැවත බලයට පත්කිරීමට 7 දා කොන්සර්වේටිව් පක්ෂයට ඔබේ කතිරය ගසා කෙළෙහි ගුණ සලකන්න " කියා කීමට එහි වැඩකරන කිසිම මාධ්‍ය වේදියෙකුට හීනෙන්වත් හිතෙන්නේ නැත.
බී බී සී ආයතනවල සේවය කරන්නන් වාමාංශික මතධාරීන් බව පොදුවේ පිළිගත් මතය වෙයි. ඔවුන් ඩේවිඩ් කැමරන් රජයේ වැඩකටයුතු නිර්දය ලෙස, එහෙත් සාධාරණ කරුණු සහිතව විවේචනයට ලක් කරන අවස්ථා එමටය. එසේ කිරීම නිසා ඒ කිසිවෙක් දන්ගෙඩියට යැවෙන්නේ නැත.
මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයින් සහභාගි වන ප්‍රශ්න කිරීමේ වැඩසටහන් රුපවාහිනි නාලිකා වලින් ප්‍රචාරය වෙයි. මේවාට සහභාගිවෙමින් තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි කරදෙමින් ඡන්දය දිනාගැනීමේ අවස්ථාව එම දේශපාලඥයින් හට සමාන්තරව ලැබෙයි.
ඒවා මෙහෙයවන මාධ්‍යවේදීන් අගමැති අමතන්නේ "ඩේවිඩ්" නමිනි. මෙහිදී ඔහු අගමැති නිසා "උතුමා" හෝ "මැතිතුමා" හෝ කියා ඇමතීමේ පුරුද්දක් ඉංග්‍රීසිකාරයාට නැත. එසේ ඇමතුවා කියා අගමැතිකම පාච්චල් වු බවත් එය බලා සිටින ප්‍රේක්ෂකයන්ට සිතෙන්නේ ද නැත.
මැතිවරණ ප්‍රචාරය සඳහා තමන්ගේ ආසනයේ සෑම ඡන්ද දායකයෙකු හටම තමන්ගේ ප්‍රතිපත්ති විස්තර කෙරෙන පත්‍රිකා තැපෑලෙන් යැවීමට පහසුකම් ලැබෙයි. එසේම සෑම අපේක්ෂකයෙක්ම තම ආධරකරුවන් සමඟ ආසනයේ ගෙයින් ගෙට ගොස් තමන්ගේ ප්‍රතිපත්ති පහදාදී ඡන්දය ඉල්ලා සිටිමටද කටයුතු කරයි. අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම විරුද්ධ පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් පවා මෙම කටයුත්තට සහභාගී වෙති.
මැතිවරණ කාලයේ බොහෝ නගර වල ප්‍රධාන පක්ෂවල කාර්යාල විවෘත කරයි. මේවායින් ආසනය තුළ ප්‍රචාරක කටයුතු සංවිධානය කෙරෙයි.
අපේක්ෂකයින් ආසනයේ ඇති වෘත්තීය සමිති, සංස්කෘතික සංවිධාන, ආගමික ස්ථාන, සංස්කෘතික උත්සව ආදියට සහභාගි වී ප්‍රචාරක කටයුතු කෙරෙන අවස්ථාද ඇත.
පක්ෂ සාමාජිකයින් තම අපේක්ෂකයින්ගේ කුඩා ප්‍රමාණයේ පෝස්ටර් තම ගෙදර මිදුලෙහි ප්‍රදර්ශනය කිරීමද සිදුවෙයි. වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා රට පුරා ඉදිකර ඇති දැන්වීම් පුවරු කුලියට ගෙන මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමද සිදුවෙයි.
පුවත්පත්, ගුවන් විදුලිය සහ රුපවාහිනි මාධ්‍ය හරහා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කෙරෙයි.
මේ සියලුම දැන්වීම් වලින් කිසියම් නිර්මාණාත්මක භාවයක් මෙන්ම සංයමයක් පිළිඹිඹු කෙරෙයි. ප්‍රතිගාමීන් විවේචනයට ලක් කළද දේශපාලන මඩ ගැසීමක් ඒවා තුළින් ඉදිරිපත් නොකෙරේ.
සෑම පක්ෂයකටම රජයට අයත් බී බී සී ආයතනය මඟින් නොමිලයේ එම පක්ෂයේ ප්‍රචාරක වැඩසටහනක් ප්‍රචාරය කිරීම සඳහා අවස්ථාවද ලබාදෙයි.
බ්‍රිතාන්‍ය මහා මැතිවරණය සඳහා "කොලොප්පමට" අපේක්ෂකයින් ඉදිරිපත් කරන කණ්ඩායම්ද ඇත. "මොන්ස්ටර් රේවින් ලුනි" පක්ෂය නමින් සෑම මැතිවරණයකටම අපේක්ෂකයින් ඉදිරිපත් කරන කණ්ඩායම ඒ අතරේ වඩාත්ම ජනප්‍රිය මෙන්ම සුප්‍රකට පක්ෂයයි. කිසි කලෙක මැතිවරණයකින් ජයක් ලබා ගෙන නැතත් මේ කවටයින් හටද ඡන්දය දෙන පිරිසක් එංගලන්තයේ සිටිති.
දේශපාලනය නිසා ගහ බැණ ගැනීම් මරා ගැනීම් එංගලන්තයේ සිදුවන්නේ නැත. සමහර විට එකම ගෙදර පියා දක්ෂිණාංශික වීමත් මව මධ්‍යස්ත මතධාරී වීමත් දරුවන් වාමාංශික වීමත් සාමාන්‍ය දෙයකි. ඡන්දය දවසේ ද විවිධ පක්ෂවල සාමාජිකයින් මිත්‍රශීලීව අවන්හල්වල, මත්පැන් ශාලාවල එකතුවී ප්‍රතිඵල නරඹනු දැකිය හැකිවෙයි.
කෙසේ වුවත් පසුගිය කාලයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ ඉංග්‍රීසි කාරයාට නුහුරු අශෝබන සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. විශේෂයෙන් පකිස්තානු සහ බංග්ලාදේශ ජාතිකයින් බහුලව ජීවත්වන ප්‍රදේශවල මිය ගිය අයගේ හෝ රට හැර ගිය අයගේ ඡන්ද හොරෙන් යලි ලියාපදිංචි කිරීම් පිළිබඳව වාර්තා වූ අතර මේ නිසා මැතිවරණ ජයග්‍රහණය කළ කිහිපදෙනෙකුටම තම ආසන අහිමිවීමත් නීතිමය ක්‍රියාදාමයකට මුහුණ දීමට සිදුවීමත් පිළිබඳව වාර්තා විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද , සුමුදුට හරියන්නේ මැදමුලන තියරිය විතරයිනේ . එතනින් එහාට කොහෙවත් වැදගත් දෙයක් එයාට වැදගම්මක් නැහැ (බ)
ඔය ලාංකික සම්භවයක් තියෙන අය මැතිවරණයට ඉදිරිපත් වී ජය ලැබුවත් මව් රටට කෙනෙහිලිකම් මිසක් වෙන කරන ඇති දෙයක් නැහැ . (ත)
ඕස්ට්‍රේලියාවේ මැතිවරණත් කිසිම සද්දයක් බද්දයක් නැහැ. කාටවත් හිරිහැරයක් අනවශ්‍ය වියදම් මහජන දේපල අපහරනයක් නැහැ. ලංකාවේ මේ විදියට මැතිවරණයක් කවදා තියාවිද ? (බ)
තිදෙනාටම ජයග්‍රහනය කිරීමට හැකියාව ලැබේවා.(හේ)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නදී)
රජින්ද දන්නවාද ඔය කියන බුද්ධිමත් ඡන්දදායකයන්ට මාධ්‍ය වලින් ලබා දෙන්නේ ඔවුන් ලවා යම් කිසි නිශ්චිත ආකාරයකට සිතවීමට අවශ්‍ය කරන ආකාරයට වෙනස් කරන ලද තොරතුරු පමණක් බව ? ඒ රටවල ඇති ඇල්මැරුණු ඡන්ද වලට හේතුව ඔය කියන ආකාරයේ ප්‍රබුද්ධකමක් ම නොවෙන බව තේරුම් ගැනීමට අපේ අයට තව කොපමණ කලක් යාවිද??ඔබගේ අදහස් වලින් වටහා ගත හැකි සරලතම කරුණ නම් සුද්දගේ හැම දේම හොඳයි කියා සිතන යටත්විජිත මානසිකත්වය කෙතරම් නම් දැඩිව ඔබ ග්‍රහණයට ගෙන ඇත්ද යන්නයි. (බ)
මේ යන විදියට නං සුනිල් මල්ලි දැනටමත් වර්තමානේ අනා ගත්තු ලතා අක්කලට අනාගත් අනාගතයක්වත් ඉතුරු වේවිද කියලා ෂුවර් නෑ. (බ)
දුමින්ද කියන්නා වගේ මේ උදවිය කඩුවෙන් තුවක්කුවෙන් එදා කළෙත් සංස්කෘතික යටත්විජිතවාදයෙන් අද කරන්නෙත් එකම දේ තමයි. (බ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලයට අවම ඔබට දකින්න පුළුවන්.(හේ)
ලංකාවේ තිදෙනෙක් කිව්වට දෙන්නෙක් විතරනේ ඉන්නේ!!(අ)
රජින්ද ඔයා හරියටම හරි (බ)
වසර 250 කඩුවෙන් තුවක්කුවෙන් අධිජවාදය කළෙත් ඔය සුපිරි ප්‍රජතන්ත්‍රවාදය වේ(බ)
අප වටහාගත යුතු සරලම කාරණය නම්, බුද්ධිමත් ඡන්දදායකයින් සිටින රටක හා එසේ නොවන රටක ඇති වෙනසින් දේශපාලකයින් ප්‍රයෝජනය ගන්නා හැටිය. සමාජයක වෙසෙන්නන් නුගත් කරවීමෙන් ඕනෑම දේශපාලඥයෙකුට රජ කළ හැක. දෙවන ලෝකයේ රටක් කියා මවාපෑවත් ශ්‍රී ලංකාව මේ වනතෙක් තුන්වන ලෝකයේ රටක් වන්නේ එනිසාය. (නි)
අශෝක ගණන් ගන්න එපා ගැනු කොහොමත් එහෙම තමයි ඉන්නේ සියල්ලදත්වගේ තමයි. (අ)
අතීතයට එක්වුණු දේවල් කතා කරලා වැඩක් නැහැ දුමින්ද මල්ලි.වර්තමානය,අනාගතය ගැන හිතන්න. (බ)
චමලිට දේශපාලනය ගැන ඉගෙන ගන්න තව හුඟක් දේවල් තියෙනවා. හැසිරෙන්නේ ඔක්කොම දන්නවා වගෙයි. ඇයගේ පරාජයට හේතුවත් ඒකමයි. රනිල්ට කිසිම ගේමක් නැහැ. දිනුම ෂුවර්. උගත් නිහතමානි, සරල චරිතයක්. (බ)
ඡන්දයක් තිබෙනවා කියලා දන්නේවත් නැහැ. කවුද කියනවා ඇහුනා "කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක්, බියවැද්දවීමක්, දේපළ අලාභහානි කිරීමක් එහෙමත් නැත්නම් වෙඩි තබාගැනීමක් තියා අඩුම තරමින් රතිඤ්ඤා සද්දයක්වත් නැතුව කිසි 'කික්' එකක් නැහැ, නිකං දියාරුවට ගිහිල්ලා වගේ" කියලා. ලංකාවට ඇවිල්ලා ඩේවිඩ් කැමරන් මොනවා ඉගෙනගත්තාද මන්දා. (නි)
සුද්දෝ යටත් කරගෙන ඉදලා සම්පුර්ණ නිදහස ලබපු රටවල් වලින් හරියට දියුණු වෙච්ච එක රටක් කියන්න බලන්න. තාමත් එංගලන්ත මහා රැජිනගේ කිරීටය යටතේ නාමිකව හෝ සිටිනා ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,කැනඩාව යන රටවල දියුණුව ගැන මොකද හිතෙන්නේ ? ඒ රටවල් වලටත් සම්පුර්ණ නිදහස ලැබුනා නම්,ඒ රටවලුත් අද ලංකාවට,ඉන්දියාවට,සින්බාබේට,දකුණු අප්‍රිකාවට දෙවෙනි වෙන්නේ නැහැ.සුද්දට බැන බැන ඉඳලා වැඩක් නැහැ මේක තමයි තිත්ත ඇත්ත. (නදී)
මීළඟ මැතිවරණය ලංකාවට තීරණාත්මකයි.වෙනසක් සඳහා ජවිපෙ නියෝජිතයින් බොහෝ දෙනෙක් රට වටෙන්ම පත් වෙන එක වලක්වන්න කිසිවෙකුට බැහැ. ස්වාධින කොමිසන් සභා හරහා සාධාරණ ඡන්දයකට ඉඩ සැලසීම ඊට හේතුවයි. (ත)
අපෝ මේක ඡන්දයක් නෙමෙයිනේ. කිසි ගතියක් නැහැ. වැඩක්ම නැහැ. ඒ වගේද මෙහේ? (නි)
ලතා අක්කේ, අපිට මොන අනාගතයක්ද? (නි)