ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ‘බෝයිං 737 මැක්ස්’ වර්ගයේ ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇත.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස්’ යානයක් ඉකුත් දා අනතුරට පත්වූ අතර එම අනතුරින් යානයේ සිටි රටවල් 35 මගීහු 157 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාවේ නයිරෝබී නුවර දක්වා ගමන් ඇරැඹු මෙම යානය ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටිණි. මාස පහක් ඇතුළත මෙම වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. 

එම සිදුවීමෙන් පසු රටවල් රැසක් ‘බෝයිං 737 මැක්ස්’ ගුවන් යානා ගුවන් ගමන්වලින් ඉවත් කිරීමට පියවර ගත් අතර ඇතැම් රටවල් ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කිරීමට ද පියවර ගත්හ. එලෙස එම ගුවන් යානා භාවිතයට ගැනීම තහනම් කළ අලුත්ම රටවල් වනුයේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියයි. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහත කී වර්ගයට අයත් ‘ලයන් එයාර් ජෙට්’ යානයක් ඉන්දුනීසියාවේ අනතුරට පත්වූ අතර එම සිදුවීමෙන් 189 දෙනකුට ජීවිත අහිමි විය. කෙසේ නමුත් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ද පැවසේ. 

රොයිටර් ඇසුරිනි  

055