බෝම්බයක් නිශ්ක්‍රීය කිරීම සඳහා ඉතාලියේ දකුණු දිග බ්‍රින්ඩිසි නගරයෙන් 54000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 

දෙවන ලෝක යුද සමයට අයත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මෙම බෝම්බය සිනමා ශාලාවක් අලුත්වැඩියා කටයුතු අතරතුර අහම්බෙන් හමුවූවකි.

මෙම මෙහෙයුම් ඉතාලියේ සිදුකළ මෙවැනි ආකාරයේ විශාලම සාමකාමී ඉවත්කිරීම වන බවත් නගරයේ වැසියන් සියයට 60 කට වැඩිපිරිසක් බෝම්බය හමු වූ ස්ථානයේ සිට මීටර් 1617 ක දුරකට ඉවත් කළ බවත් බලධාරීහු පවසති.

වර්ෂ 1941 දී ඉතාලියට හෙළනු ඇතැයි විශ්වාස කරන මෙම බෝම්බය මීටර් එකක් දිගින් යුතු වන අතර එහි ඩයිනමයිට් කිලෝග්‍රෑම් 40 ක් අඩංගු බව සඳහන් වේ.

බ්‍රින්ඩිසි නගරයේ ගුවන් තොටුපල, දුම්රිය ස්ථානය, රෝහල් දෙකක් සහ බන්ධනාගාරය ද මෙහෙයුම සඳහා වසා දැමීමට සිදුවිය. 

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)