ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයක් එල්ල වනු ඇතැයි ලැබුණු විශ්වාසදායී ආරංචියක් හේතුවෙන් ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල සියළුම පාසල් වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසල් දරුවන් 640,000 නැවත දන්වනතුරු නිවෙස්වල රැදී සිටින්නැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී ඇත. ලොස්ඇන්ජලීස් යනු එරට දෙවැනි වැඩිම පාසල් සංඛ්‍යාවක් ඇති ප්‍රාන්තයයි. ඇමෙරිකා රහස් ඔත්තු සේවා නිලධාරින් හා බෝම්බ නිෂ්ක්‍රිය අංශ නිලධාරීන් පාසල් හා විශ්වවිද්‍යාලවල පන්තිකාමර, කාර්යාල, අල්මාරි, නානකාමර පරීක්ෂා කිරීම සදහා කැඳවා ඇත.

ලොස්ඇන්ජලීස් පාසල් අධ්‍යක්ෂ රමොන් කෝටිනස් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පවසා ඇත්තේ අවම වශයෙන් පාසල් තුනක බෝම්බ පිපිරවීමට සැළසුම් කර ඇතැයි විද්‍යුත් පණිවිඩයක් ලැබුණු බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව සොයාගැනීමට කාලය ගත කිරීම හෝ එය වන්නේ ද නොවන්නේ ද යන්න සිතමින් සිටීමට වේලාවක් නොමැති බැවින් සියළු පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට ක්ෂණික තීරණයක් ගත් බව ද හෙතෙම පවසයි. පාසල් හා විශ්වවිද්‍යාල සියල්ල ආරක්ෂාකාරී යැයි තහවුරු කරගන්නා තුරු විවෘත නොකරන බව ද අධ්‍යක්ෂවරයා පවසයි.