බංගලාදේශයේ ඩකා නුවර විදුලි පංකා කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 10දෙනකු මියගිය බව පොලිසිය පවසයි.

තෙමහල් කර්මාන්තශාලාවක් වන මෙය ඩකා නුවරට නුදුරින් ගාසිපූර්හි පිහිටා ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේ එහි සේවකයන් කොපමණ සිටියාද යන්න හෝ ගින්නට හේතුව හෝ පැහැදිලි නැතැයි බලධාරීහු පවසති.

ගිනි නිවන භටයන්ට ගින්න පාලනය කිරීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ඔවුන් තවදුරටත් කර්මාන්ත ශාලාව තුළ සෝදිසි කරමින් සිටින බවත් සඳහන් වේ.

ඩකා නුවර ආසන්නයේ ප්ලාස්ටික් කම්හලක ඇතිවූ ගින්නකින් 19දෙනකු මියගියේ මීට දින හතරකට පෙරදී ය.
 
ඩකා නගරයේ කර්මාන්ත ශාලාවල මෙවැනි අනතුරු බහුලව සිදුවන අතර නිසි ආරක්ෂණ පියවර අනුගමනය නොකිරීම හා නොසැලකිලිමත්කම එයට හේතුව බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)