දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට නව මධ්‍යගත බුද්ධි ආයතනයක් පිහිටුවීමට ජපානය සූදානම් වෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින දුර්වලතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ජපන් අග්‍රාමාත්‍ය සානායි තකායිචි පැහැදිලි කර ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ජපානය අනුගමනය කරන්නේ සාමකාමී ප්‍රතිපත්තියකි. ආත්ම ආරක්ෂාව සඳහා වුවද අවි ආයුධ භාවිත කිරීම වැරදි යැයි ජපානයේ විශ්වාසයයි. ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා ඇත්තේ වෙනත් රටවල් සමග යුද්ධ කිරීමට හෝ ප්‍රහාරාත්මක හමුදාවක් පවත්වාගෙන යෑමට ජපානයට ඇති අයිතිය නීතියෙන්ම අහෝසි කරමිණි.

එවැනි තත්ත්වයක් යටතේ, නව මධ්‍යගත බුද්ධි ආයතනයක් පිහිටුවීමට ජපන් රජය ගත් මෙම තීරණය, සාමකාමී මතවාදයන්ගෙන් බැහැර වීමක් යැයි ඇතැම් පාර්ශ්වකරුවෝ චෝදනා නගති.

නව මධ්‍යගත බුද්ධි ආයතනය, ජාතික බුද්ධි කාර්යාංශය යන නමින් හැඳින්වෙනු ඇති බව ද පැවැසෙයි. ජපානය මෙතෙක් බුද්ධි කටයුතු සිදු කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. සහ බ්‍රිතාන්‍යයේ එම්අයි6 යන බුද්ධි අංශවලින් ලැබුණු බුද්ධි තොරතුරු පාදක කර ගනිමිනි.

ජාතික බුද්ධි කාර්යාංශය පිහිටුවීම හරහා ජපානයේ බුද්ධි සේවා ප්‍රතිසංස්කරණයට ලක් වනු ඇති බව ජපාන අගමැතිනී සානායි තකායිචි පැහැදිලි කර ඇත.

"වර්තමාන ලෝකය දිනෙන් දින නොසන්සුන්කාරී තැනක් බවට පත් වෙනවා. නවීන යුද ක්‍රමවේදයන්ට සහ තර්ජනයන්ට මුහුණ දීම සඳහා අප ආරක්ෂක හා බුද්ධිමය හැකියාවන් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්" යැයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

පසුගිය ඔක්තෝබරයේ බලයට පත්වූ තකායිචි, ජපානයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිය වඩාත් ප්‍රබල ලෙස පවත්වාගෙන යාමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ශාන්තිවාදී වගන්ති සංශෝධනය කිරීමටත් දැඩි ලෙස පෙනී සිටින නායිකාවකි.

සිය බුද්ධි ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු සඳහා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය වැනි බටහිර මිත්‍ර රටවල උපදෙස් හා සහාය ලබාගැනීමට ද ඇගේ රජය කටයුතු කර ඇත.