නිව්යෝක් නුවර, පැසිපන්දු තරගයක් නැරැඹීමට ගිය ඇfරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, තරගය නැරැඹීමට පැමිණි සෙසු ප්‍රේක්ෂකයන්ගෙන් අප්‍රසාදය එල්ල විය. ඇමෙරිකන් ජනාධිපතිවරයා තරගය නැරැඹුවේ ‘හූ’ හඬ මධ්‍යයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.

තරගයට ජනාධිපතිවරයා සහභාගී වූ බැවින්, තරගය පැවැත්වුණු මැඩිසන් ස්ක්වෙයා ගාඩ්න් ක්‍රීඩාංගණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි.

තරගය නැරැඹීමට පැමිණි බොහෝ දෙනාට පැය ගණනක් පෝළිම්වල සිටීමට ද සිදුවිය. මෙය ට්‍රම්ප්ට එරෙහි අප්‍රසාදය තව තවත් වර්ධනය වීමට හේතුවක් වුණු බව ද පැවැසෙයි.

අවසන් තරගය පැවැත්වූයේ ‘නිව්යෝක් නික්ස්’ සහ ‘සැන් ඇන්තෝනියෝ ස්පර්ස්’ කණ්ඩායම් අතරේය. ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රතිවාදියකු වන නිව්යෝක් නුවර නගරාධිපති සොහ්රාන් මම්දානී ද තරගය නැරැඹීමට පැමිණ සිටියේය. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. මම්දානි නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

ට්‍රම්ප් තරගය නැරැඹීමට ගියේ සිය මිණිපිරිය කායි ට්‍රම්ප් ද සමගය. ‘නික්ස්’ පැසිපන්දු කණ්ඩායමේ හිමිකරු ජේම්ස් ඩෝලන් ද ට්‍රම්ප් සමග සිටියේය. ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රවාහන කටයුතු පිළිබඳ ලේකම් (ඇමැති) ෂොන් ඩෆ්, අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් (ඇමැති) ඩග් බර්ගම් සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සිටීව් විට්කොෆ් ද අවසන් මහා තරගය නැරැඹීමට ට්‍රම්ප් සමග ක්‍රීඩාංගනයට ගොස් සිටියේය. 

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති මේ වනවිට රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ පමණක් නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ පවා අප්‍රසාදයට හේතුවක් වී ඇත. ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වූයේ එබැවිනි.