IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පොලිසියේ වෙඩි පහරින් පිලීපීන දියණියක් මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පිලිපීන පොලිසිය කරන ලද වෙඩි තැබීමකින් කුඩා දියණියක මියගොස් ඇත.

පිලිපීනය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කර තිබෙන අතර පොලිසිය වෙඩි තැබීම්, වැටලීම් සිදු කරයි. 

“ලෝකය අංග සම්පූර්ණ නැහැ.  අපි කවුරුවත් කැමැති නැති දේවල් සිද්ධ වෙනවා” යැයි එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිලිපීනයේ හිටපු පොලිස් ජනරාල්වරයෙක් පැවැසීය. 

රොනල්ඩ් දෙලා රෝසා නමැති එම හිටපු පොලිස් ජනරාල්වරයා මේ වනවිට පිලිපීනයේ සෙනට් සභිකයකු ලෙස කටයුතු කරයි. හෙතෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ අරමුණින් මෙහෙයුම් රැසක් කළ අතර එම මෙහෙයුම් අතරවාරයේ දී දුප්පතුන් සහ වීදි වෙළෙන්ඳන් දහස් ගණනක් ඝාතනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

 “මෙහෙයුම් ආරම්භ කරද්දී සමාන්තර හානි සිදුවෙනවා. එය වළක්වන්න බැහැ” යැයි ඔහු කීය.

මැනිලා අගනුවර ආසන්නයේ මිකා උල්පිනා පළාතේ කරන ලද මෙහෙයුමකදී එම දැරිය මියගොස් ඇත. මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ඉකුත් ඉරිදා වන අතර මියගිය දැරිය තුන් හැවිරිදි වියේ පසුවූ බව වාර්තා විය. 

සැකකාර පියා සිය දියණිය මානව පළිහක් ලෙස යොදාගත් බවට පොලිසිය ප්‍රකාශ කරන නමුත් දියණියගේ මව පොලිසිය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළාය. මියගිය දැරියගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකරන බව ද පොලිසිය සඳහන් කළේය. 

“අපි ජීවත් වෙන්නේ අංග සම්පූර්ණ ලෝකයක නෙමෙයි. පොලිසිය දරුවකුට වෙඩි තියයි ද? නැහැ, කවදාවත් නැහැ. මොකද ඔවුන්ටත් දරුවෝ ඉන්නවා. එහෙත් මේ වගේ මෙහෙයුම්වලදි අපි හිතන්නේවත් නැති දේවල් වෙනවා. අපි අකැමැති දේවල් වෙනවා” යැයි ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවකදී රොනල්ඞ් දෙලා රෝසා පැවැසීය.

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙන යන යුද්ධය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කරන බව කියමින් පිලිපීන ජනාධිපතිවරයා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන බවටත්, විපක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් හා සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මර්දනය කරන බවටත් ඔවුන්ට වදහිංසා කරන බවටත් පිලිපීන ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

එම රටවල් සියල්ල එක්සත්  ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් ද කෙටුම්පත් කර තිබේ. එයට පාදක කරගෙන තිබෙන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත්කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් 11 දෙනකු පසුගිය මාසයේදී ඉදිරිපත් කළ වාර්තා ය.

එම සොයාගැනීම්වලට අනුව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නීතිවිරෝධී ලෙස බලය භාවිත කරමින් ඝාතන සිදු කර ඇති බවත් ඝාතනවල සංඛ්‍යාව හිතා ගත නොහැකි බවත් අනාවරණය විය. එමෙන්ම පිලිපීන රජයට හෝ වත්මන් පාලනයට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට කිසිදු උනන්දුවක් නැතැයි ද එම විශේෂඥයෝ පෙන්වා දුන්හ.

එක්සත් ජාතීන්ගේ එම විශේෂඥයෙන්ගේ වාර්තා සහ සොයාගැනීම් “සාහසික විදේශීය” අතපෙවීමක් යැයි ද මානව හිමිකම් විශේෂඥයන් විදේශීය ප්‍රචාරකයන් යැයි ද පිලිපීන ජනාධිපති ඩුටාර්ටේගේ ප්‍රකාශකයා චෝදනා කළේය.

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව යුද ප්‍රකාශ කළේ මීට වසර තුනකට පෙරය. ඩුටාර්ටේගේ එම ක්‍රියාන්විතය අසාර්ථක බවත් සමාජය තුළ බිය පැතිරවීමටත් තමාගේ රළු ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමටත් පමණක් ඩුටාර්ටේ එය භාවිත කළ බවත් විචාරකයෝ පවසති.

එමෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හෝ පිලිපීන ජනාධිපතිවරයා සමත්ව නැතැයි ද ඔවුහු පෙන්වාදෙති. 

හිතුමතේ ඝාතන සිදු කරන බවටත්, අහිංසක සිවිල් වැසියන් අල්ලා ගනිමින් ඔවුන්ට බොරු මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනා එල්ල කරන බවටත් නීතියෙන් පැවැරී ඇති බලය අයථා ලෙස භාවිත කරන බවටත් පිලිපීන පොලිසියට චෝදනා එල්ල වී තිබේ. 

පිලිපීන පොලිසිය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මරුමුවට පත්වූ 6,000කට වැඩි පිරිසක් ආයුධ සන්නද්ධව සිටි බව පොලිසිය සඳහන් කළේය. එමෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම්, විමර්ශන හා වැටලීම්වලට බාධා කළ බව ද පොලිසිය කීවේය. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන සටනේදී 27,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි. 

කුඩා දැරියකට මරු කැඳවූ ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවත් වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියාගේ සේවය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පිලිපීන පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක බර්නාඩ් බැනැක් පැවැසීය. 

මුලින්ම වෙඩි තැබීමට උත්සාහ කළේ දැරියගේ පියා යැයි ද හෙතෙම කීය. “අනතුරක් සිදු වූවා නම් අපට කරන්න දෙයක් නැහැ. ඒ වගේම පියා සිය දියණිය මානව පළිහක් කරගත්තා නම්” යැයි ද ඔහු කීය.

සෙනට් සභික රොනල්ඩ් දෙලා රෝසාගේ ප්‍රකාශයට නීතිඥයන්ගෙන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර පොලිසිය අත්තනෝමතික ලෙස කරන ඝාතන, බලය අයුතු ලෙස භාවිත කිරීම යනාදියට එරෙහිව පියවර ගන්නා දිනයක් ඉක්මනින් ම පැමිණෙන බව ඔවුන් පවසා ඇත. 

රොයිටර් ඇසුරිනි 

055

 

 



අදහස් (0)

පොලිසියේ වෙඩි පහරින් පිලීපීන දියණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site