ලොව පුරා විශාල ධනවතුන් පිරිසකගේ කළු සල්ලි සුදු කළ බව කියන පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගම අඟහරුවාදා (12) එරට පොලිසිය වැටලූ බව විදෙස් ආරංචි කියයි.

විනිවිද බවකින් යුතු මුදල් ගනුදෙනු ලොව පුරා සිදුකළ යුතු බවත් වංචනික ලෙස අයථා මුදල් ගබඩාකරන මෙවැනි සමාගම් ක්‍රියාත්මකවීම වැළැක්වීමටත් සිය උපරිම සහාය ලබාදෙන බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් ප්‍රකාශ කළේය.

පසුගියදා මෙම පැනමා සමාගමේ රහස් ලිපි ලේඛනවල තොරතුරු හෙළිවීමත් සමග ලොව පුරා සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ අයථා මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ අනුව අයිස්ලන්ත අගමැතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවූ අතර රුසියා ජනපති වැල්ද්මීර් පූටින්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී, ඉන්දීය නළු නිළියන් ඇතුළු විශාල පිරිසකගේ මූල්‍ය ගනුදෙනු මෙම සමාගම හරහා සිදුව ඇතැයි කියති. ශ්‍රී ලංකාවේද කිහිපදෙනකුගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි සැකයක්ද පවතී.