දකුණු දිග පිලිපීනයේ මින්දනාවෝ දූපත්වල රික්ටර් මාපකාංක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (15) හටගෙන ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේ එම ප්‍රදේශයේම ප්‍රබල කම්පන රැසක් හටගත් බව ද භූ විද්‍යාඥයෝ පවසති.

භූ කම්පනය වැඩිම බලපෑමක් එල්ල කළේ මින්දනාවෝ දූපත්වල ජනාකීර්ණ නගරයක් වන ඩවාවෝ වෙතටය. භූකම්පනයෙන් සැලකිය යුතු හානියක් වී ඇතැයි ද පිලිපීනයේ යමහල් (ගිනිකඳු) අධ්‍යයන පිළිබඳ ආයතනය සඳහන් කරයි.

මෙම භූකම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ සමීක්ෂණ ආයතනය සඳහන් කළේය. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් ලෙස සටහන් වූයේ යැයි ද එම ආයතනය කලින් සඳහන් කර තිබිණි.

පිලිපීනයට නිරන්තරයෙන් භූකම්පනවලින් බලපෑම් එල්ල වේ. පිලිපීනය පිහිටා ඇත්තේ ශාන්තිකර සාගරයේ “රින්ග් ඔෆ් ෆයර්” නමින් හඳුන්වන කොටසේය. මෙම ප්‍රදේශවල නිරන්තරයෙන් භූකම්පන ඇතිවන අතර ගිනිකඳු ද පුපුරා යයි.

මින්දනාවෝහි අද භූකම්පනය හටගත් ප්‍රදේශයේම පසුගිය ඔක්තෝබර් මාසයේදී රික්ටර් මාපකාංක 6.0ට වඩා වැඩි භූකම්පන තුනක් හටගත්තේය. එම භූකම්පනවලින් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු ගොඩනැගිලි රැසකට බරපතළ හානි සිදුවිය.

පසුගිය දශක කිහිපයේදී පිලිපීනයට ප්‍රබල භූමිකම්පා රැසක් බලපෑ අතර 1990 වසරේ දී පිලිපීනයේ බාග්යෝ හි හටගත් භූකම්පනයෙන් 1,200කට වැඩි පිරිසක් මරණයට පත්වූහ. එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 7.8ක් ලෙස සටහන්ව තිබිණි.

(ඒ.එෆ්.පී.  ඇසුරිනි)

055