කැරපොතු ජනතා පක්ෂයේ විරෝධතාවලට එක් වී පොලිස් ප්‍රහාරවලින් තුවාල ලැබූ ශිෂ්‍යයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පවසයි.

රාහුල් මේ බව කියා සිටියේ නවදිල්ලි අගනුවර ඊයේ (26) එළිමහනේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය. රාහුල් එම මාධ්‍ය හමුවට එක් වී සිටියේ, කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකු ද පිරිවරා ගනිමිනි.

ඉකුත් 20 වැනිදා පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට වායු රයිෆල්වලින් වෙඩි තැබූ බව රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවේ කියා සිටියේය. එසේ වායු රයිෆල් ප්‍රහාරයකට ලක්වුණු 19 හැවිරිදි සාහිල් නමැති, දිල්ලි විශ්ව විද්‍යාල සිසුවකු ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ආකාරය ද රාහුල් මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

දිල්ලි පොලිසිය, වායු රයිෆල්වලින් වෙඩි තැබුවේ ඇයිදැයි යන්නත්, එසේ වෙඩි තබන්න අවසර දුන්නේ කවුරුන්ද යන්නත් රාහුල් ප්‍රශ්න කළේය.