පරසිත් දන්නා නුවනින් එකිනෙකා හා සංවාදයේ යෙදීය හැකිදැයි සොයාබැලීමට සිදුකළ පර්යේෂණයක් සාර්ථක වූවේයැයි ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

පර්යේෂණයේදී ඔවුන් ඉන්දියාවේ හා ප්‍රංශයේ ජීවත්වන පුද්ගලයින් දෙදෙනෙකු තෝරාගෙන ලොව දෙකොනේ සිටියද ඔවුන් දෙදෙනා අතර සිතුවිලි හුවමාරු කරවිය හැකිදැයි සොයා බලා ඇත.

මේ සදහා ඔවුන් එක් එක් පුද්ගලයෙකුගේ හිසට විශේෂ සංවේදක සවිකරන ලද ශීර්ෂාවරණ පලන්දවා ඒවා අන්තර්ජාලය ඔස්සේ එකිනෙක හා සම්බන්ධ කර ඉන්දියාවේ සිටින පුද්ගලයාට ‘‘හලෝ‘‘යැයි සිතෙන් පවසන්නැයි උපදෙස් දී ඇත.

පුදුමාකාර ලෙස ප්‍රංශයේ සිටින පුද්ගලයා මෙම ‘‘හලෝ‘‘යන වචනය ඉන්දියාවේ පුද්ගලයාගේ සිතෙන් පැවසෙනු ග්‍රහණය කරගෙන ඇත.ඔහුගේ ශීර්ෂාවරණයට සවිකර තිබූ සංවේදක වලින් ලබාගත් තොරතුරු අනුව අනෙක් පස සිටි පුද්ගලයා ‘‘හලෝ‘‘ යැයි සිතත්දී එයට අනුරූප ලෙස මේ පුද්ගලයාගේ මොළයේ තරංග උපදින රටාව වෙනස්වූ බව නිරීක්ෂණය කිරීමට හැකිවූ බව පර්යේෂකයෝ පවසති.

එයින් පෙනෙන්නේ දෙදෙනා අතර කුමන හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුව ඇති බව යැයි ඔවුහු කියති.

මේ පර්යේෂණය සදහා අන්තර්ජාලයද මාධ්‍යයක් ලෙස භාවිතා කළත් ඉදිරියේදී අන්තර්ජාලය හෝ වෙනත් කිසිදු බාහිර සම්බන්ධතාවක් නොමැතිව සිතුවිලි පමණක් ආධාරයෙන් එකිනෙකා හා සන්නිවේදනයේ යෙදිය හැකිදැයි සොයාබැලීම පර්යේෂක පිරිසගේ අපේක්ෂාවයි.

කටයුතු සාර්ථක වුවහොත් මෙම තාක්ෂණය භාවිතයෙන් අත්පා අහිමි වූවන්ට තම මනසේ සිතුවිලි වලින් ක්‍රියාකරවිය හැකි කෘතිම අත්පා ලබාදිය හැකිවනු ඇතැයි ඔවුහු පවසති.