නිරිතදිග ප්‍රංශයේ ජිරොන්ඩේ කලාපය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයෝ 2,200 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් ළැව් ගිනි පාලනය කිරීමට ජලය ඉසින ගුවන් යානා 20 කට වැඩි ගණනක් භාවිතයට ගන්නා බවත් ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේය.

පැරිස් නගරය මෙන් සිවුගුණයක විශාලත්වයකින් යුත් ප්‍රදේශයක් ආවරණය වන පරිදි පැතිර ගොස් ඇති මෙම ගින්න, ප්‍රංශය මුහුණ දී සිටින විශාලතම පරිසර අර්බුදය බවට පත්ව තිබේ. ප්‍රංශ ගිනි නිවන භටයන්ට සහයට යුරෝපා රටවල් රැසක් ගිනි නිවන භටයන් ප්‍රංශයට යවා ඇත.

මේ වනවිට ප්‍රංශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව පසු කර ඇත. වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ළැව් ගිනි පාලනය අසීරු බව ගිනි නිවන භටයෝ පවසති. ප්‍රංශය මීට පෙර මෙවැනි ආකාරයේ බිහිසුණු ළැව්ගිනිවලට මුහුණ පා නොමැති බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති.