අයිඑස් ත්‍රස්තවාදීන් පැරිසියට එක්වර මරාගෙන මැරෙන ප්‍රහාර හතක් එල්ල කර දෙදිනකට පසු ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය (අයිඑස්) කැරලිකරුවන්ගේ බළකොටුව වන රඛා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය කියයි.

එක්සත් අරාබි රාජ්‍යයෙන් හා ජෝර්දානයෙන් එක්වර අහසට නැගුණු ප්‍රංශ ජෙට් යානා 10ක් බෝම්බ 20ක් හෙළූ බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය කියයි.

ඇමරිකා හමුදා බළඇණි හා එක්ව එල්ල කළ මෙම ප්‍රහාර වලින් අයිඑස් අණ දෙන මධ්‍යස්ථානයක් ජෙහාඩ් කැරලිකරුවන් රඳවාගන්නා ස්ථානයක් පතරොම් ගබඩාවක් හා ජෙහාඩ් කැරලිකරුවන් පුහුණු කරන කඳවුරකට පහර දුන් බව තවත් නියමුවන් රහිත යානාවලින් එම ඉලක්ක මීට කලින් සොයාගත් බවත් ප්‍රංශය කියයි.

‘රඛා අයිඑස් බළකොටුවට එල්ල කළ ප්‍රහාර අති විශාලයි. ජෙහාඩ් කඳවුරු දෙකක්ම වනසා දැමුවා‘ ප්‍රංශ ආරක්ෂක නිලධරයෙක් ඒපී පුවත් සේවයට කීවේය.

බෝම්බ ප්‍රහාරයෙන් විනාශ කළ එක් මධ්‍යස්ථානයක් වූයේ ඩේෂ් ත්‍රස්තවාදීන්ගේ අණ දෙන කඳවුරකි. (ඩේෂ් යනු අයිඑස් ත්‍රස්තවාදීන් හඳුන්වන විකල්ප නමකි) අනෙක් ඉලක්කයවූ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ආයුද හා පතරොම් ගබඩාවද විනාශ වූ බවත් ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලන්ද් පැවසූයේ ත්‍රස්තවාදීන් ප්‍රංශයට එල්ල කළ ප්‍රහාරය පිටදී සැලසුම් කළ සංවිධානාත්මක ප්‍රහාරයක් බවයි.

‘ප්‍රංශයේ ප්‍රතික්‍රියාව කඩිනම්, එය නිර්භීතයි‘ ඔලන්ද් කියයි.

ආත්මාරක්ෂාව පතා මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ප්‍රංශ විදේශ ඇමැති කියයි. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැති ප්‍රකාශ කළේ ත්‍රස්තවාදී නායකයන් සිරියාවේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කර බෙල්ජියමේ සිටි පිරිසක් ලවා ක්‍රියාත්මක කර ඇති බවයි.

ප්‍රංශ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග රඛා නුවර ජල හා විදුලි සැපයුම සිඳී ගියේය. සිරියාවේ මාධ්‍ය මධ්‍යස්ථානය අමාක් මධ්‍යස්ථානය පැවසූයේ අතහැර දැමූ ස්ථානවලට බෝම්බ දැමූ බවයි. කිසිවකු මිය නොගිය බවත් එම මධ්‍යස්ථානය පවසයි.

රඛා නුවර අයිඑස් කැරලිකරුවන්ගේ අගනුවර ලෙස 2013 සිට ප්‍රකාශයට පත් කර ඇත. දස ලක්ෂයක් වූ එහි ජනගහණය හාර ලක්ෂය දක්වා අඩුවී තිබේ. මේ අතර ප්‍රංශ පොලිසිය කියනුයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ඉපදුණු සලා අබ්දෙ සලාම් (26) පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු බවයි. ප්‍රංශය පුරා සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් සොයන බව මැනුවල් වාස් අගමැති කියයි. බෙල්ජියම් - ප්‍රංශ සීමාවේ දකුණු දෙස පිහිටි නගර දෙකක් සෝදිසියට ලක් කළ බවත් ප්‍රංශය කියයි. වහාම ඉන්පසුව ත්‍රස්තවාදීන් හත් දෙනකු මරාගෙන මැරෙන බෝම්බ පටි පුපුරවාගෙන මියගිය බවද කියති.

අමෙරිකා ජනපති බරක් ඔබාමා පැවසූයේ ප්‍රංශයට හැකි සහායක්මදී පැරිස් ප්‍රහාරය සැලසුම් කළවුන් යුක්තිය හමුවට පමුණුවන බවයි.