සුනිල් ආනන්ද පැරීසියේ සිට
 
 
ප‍්‍රංශයේ ඊසාන දිග ජර්මනිය දේශ සීමාවට මායිම්ව යුරෝපා පාර්ලිමේන්තුව පිහිටි ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල සිදුවී ඉන් 6 දෙනෙකු ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවන බව පොලිසිය පවසයි. 
 
වෙඩි තැබූ පුද්ගලයා පැන ගොස් ඇති අතර ඔහුට ද ආරක්ෂක වෙඩි ප‍්‍රහාර වලින් තුවාල සිදුවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. 
 
ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ කෙලෙබර් වටරවුම,  ඕපෙරොව් මාවත හා සුප‍්‍රසිද්ධ නත්තල් වෙළඳ කළාපයට නුදුරින් මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.

වෙඩි තැබූ පුද්ගලයා හතර වටේ වෙඩි තබමින් දුවන විට ආරක්ෂාවට පැමිණි පොලිස් භටයන්ගේ ප‍්‍රහාර මැද්දේ පලා ගොස් ඇත. නගරයෙන් පිටවූ ඔහු පාරේ යන ටැක්සියක නැග වෙනත් ස්ථානයකින් බැස අතුරුදන් වී ඇත. 

ටැක්සි රියදුරාගෙන් ලබා ගත් තොරතුරු වලට අනුව වෙඩික්කරුට තුවාල සිදුවී ඇති බව පැවසේ. 

මේවන විටත් විශාල ආරක්ෂක භටයන් ප‍්‍රමාණයක් මුළු නගරයටම වට කර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් සිදු කරයි.  
 
වෙඩික්කරු ස්ට‍්‍රාස්බෝර්ග් ප‍්‍රදේශයේ උපන් අවුරුදු 29 ක් වයසැති ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ 2011 දී වසර දෙකක සිර දඬුවමක් විඳ ඇති ත‍්‍රස්තවාදි ක‍්‍රියාවකට සම්බන්ධ විය හැකි පුද්ගලයකු ලෙස ප‍්‍රංශ රහස් ඔත්තු සේවයේ ලැයිස්තු ගත ආරක්ෂක අංශ ඇස ගසා ගෙන සිටි පුද්ගලයකු බව ප‍්‍රංශ ආරක්ෂක අංශ හෙළි කර ඇත.