කොන්ඬේ නාස්ට් නම් සංචාරක තොරතුරු සඳහා වෙන්වූ සගරාවක මුල් පිටුවේ 'හිංසාකාරී' වදන් සටහන්ව තිබූ ටී ෂර්ටයකින් සැරසී පෙනී සිටීම සම්බන්ධයෙන් බොලිවුඞ් නිලි පි‍්‍රයංකා චොප්රා ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියාය.

කොන්ඬේ නාස්ට් මුල් පිටුව සරසමින් ඇය පැළද සිටින ටී ෂර්ටයේ, සරණාගතයා (රෙෆියුජි) , සංක‍්‍රමණිකයා (ඉමිග‍්‍රන්ට්), පිටස්තරයා (අවුට්සයිඩර්) සහ සංචාරකයා (ට‍්‍රැවලර්) යන වදන් සටහන්ව ඇත.ඒවායින් සංචාරකයා (ට‍්‍රැවලර්) යන වදන් හැරෙන්නට අනෙක් සියල්ල රතු ඉරකින් කපා දමා ඇත.

මේ හමුවේ දැඩි විවේචනයන්ට මුහුණදීමට පි‍්‍රයංකාට මෙන්ම කොන්ඬේ නාස්ට් සඟරාවටද සිදුවූ අතර, බොහෝ දෙනා කියා සිටියේ සරණාගතයකු වීම හෝ, සංක‍්‍රමණිකයකු වීම හෝ, පිටස්තරයකු වීම හෝ, කෙනෙකුගේ ස්ව කැමැත්තෙන් සිදුවන දෙයක් නොවන බවයි.එසේ අදහස් දක්වා තිබුනු සියල්ලෝ සිරියා අර්බුදය හා පි‍්‍රයංකාගේ ටී ෂර්ටය අතර සබදතාවක් මතුකර තිබූ අයුරු පැහැදිලිව පෙනෙන්නට තිබින.

මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි පි‍්‍රයංකා පවසා සිටියේ, එල්ල වූ චෝදනා හමුවේ තමා ඉතා කම්පනයට පත්වූ බවයි.කිසිවෙකුගේවත් සිත් රිදවීමට තමාට වුවමනා නොවූ බවත්, නමුත් මෙතැන සිදුව ඇත්තේ පණිවුඩය වැරදි ලෙස තේරුම් ගැනීමක් බවත් ඇය කීවාය.

කොන්ඬේ නාස්ට් සගරාවද සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කළේය.සරණාගතයකු වුවද, සංක‍්‍රමණිකයකු වුවද, පිටස්තරයකු වුවද, අප සියල්ලෝ තැනින් තැන යන සංචාරකයින් බව ඉස්මතු කිරීම, පි‍්‍රයංකාගේ ටී ෂර්ටයේ අරමුණ වූයේ යැයිද, නමුත් එයින් සිත් රිදවීම් ඇතිව තිබෙන්නේ නම් සමාව ඉල්ලා සිටින බවද, එම නිවේදනයේ දැක්වින.