සිය පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පැරා ඔලිම්පික් පදක්කම් ලාබී දකුණු අප්‍රිකා මළල ක්‍රීඩක ඔස්කා ප්‍රිස්ටෝරියස්ට යළි ඇප ලබාදීමට එරට අධිකරණය අද තීන්දු කළේය.

උතුරු ගවුටෙන්ග් මහාධිකරණය 2016 අප්‍රේල් 18 වැනිදාට නඩුව කල් තැබූ අතර ඒ වනතුරු පිස්ටෝරියස් නිවාස අඩස්සියේ තැබීමටත් දකුණු අප්‍රිකා රෑන්ඩ් 10,000 ක (ශ්‍රී ලංකා රුපියල් 97935) ඇප ලබාදීමටත් නියෝග කළේය.

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය පිස්ටෝරියස් ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ඔහු කර ඇත්තේ සාපරාධී මිනීමැරුමක් බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පිස්ටෝරියස්ට පෙරවරු 7 සිට මධ්‍යහනය දක්වා කාලය තුළ නිවසේ සිට කිලෝමීටර් 20ක් ඇතුළත ගමන් කිරීමට පමණක් ඉඩ ලැබෙනු ඇත.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද පරීක්ෂණ නිලධාරීන් බාරයට ගැනිණි. පිස්ටෝරියස්ගේ නීතිඥයා පැවසූයේ එම තීන්දුවට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

වසර 5කට සිර දඬුවම් නියමවූ පිස්ටෝරියස් පසුගිය ඔක්තෝබර් මාසයේදී වසරක සිර දඬුවම් ලැබීමෙන් පසු නිදහස් කර නිවාස අඩස්සියේ තැබීමට අධිකරණය තීන්දු කර තිබිණි.

2013 වසරේදී ඔස්කා පිස්ටෝරියස්ගේ උපන් දිනයදා ඔහුව පුදුම කිරීමට ඔහු නිදා සිටි අවස්ථාවේ නිවසට පැමිණි ඔහුගේ පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප්ට වෙඩි තැබීමෙන් ඇය ජීවිතක්ෂයට පත්විය.

තමා හිතාමතා එසේ නොකළ බවත් නිවසට එක්වරම කිසිවකු පැමිණ අනතුරක් කිරීමට උත්සාහ කරතැයි සිතා තමා වෙඩිතැබූ බවත් පිස්ටෝරියස් අධිකරණයට කියා තිබිණි. අනතුරක් සිදුවෙතැයි බියෙන් ඔහු නිතරම පිස්තෝලයක් ළඟ තබාගෙන නිදාගන්නා බවත් එයින් පෙම්වතියට වෙඩි තබා ඇතැයිද අනාවරණය වී ඇත.